කොරෝනා වෙෙරස ව්‍යාප්තිය

Share

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානය ආශ්‍රිතව ඇතිවූ තත්ත්වයත් සමග මේ වනවිට හමුවී ඇති කොරෝනා ආසාදිතයන්ගෙන් වැඩිම පිරිසක් වාර්තා වන්නේ රාජාංගනය ගොවි ජනපද ව්‍යාපාරයෙනි.

 

රාජාංගනය ගොවි ජනපද ව්‍යාපාරයට අයත් ග්‍රාම සේවා වසම් 21 න් 11 කින් කොරෝනා ආසාදිතයින් මේ වනවිට හඳුනාගෙන තිබේ.

කලුන්දෑගම, පන්තියාව, සිරිමාපුර , නව සිරිගම, මහතිබිරිකල්ල, නයිගල, යාය 03, යාය 04 , තිස්සපුර, රන්දෙනිගම, අංගමුව, තුඹුල්ලේගම ඊට ඇතුළත් ය.

කොරෝනා වෛරසයේ ව්‍යාප්තියත් සමග රාජාංගනයේ පවුල් 248 ක පුද්ගලයින් 1016 දෙනෙකු මේ වනවිට ස්වයං නිරෝධායනයට ලක්කර තිබේ.

රාජාංගනය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් පැවසුවේ, පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් දෛනික PCR පරික්ෂණ වැඩි කිරීමට පියවර ගත් බවයි.

ඒ අනුව ඉකුත් දිනවල දෛනිකව සිදුකළ PCR පරීක්ෂණ සංඛ්‍යාව අද 300 දක්වා ඉහළ දැමිණ.

රාජාංගනයයාය 5 රෝහලේ ප්‍රධාන වෛද්‍යවරුන් දෙදෙනා මේ වනවිට ස්වයං නිරෝධායනයට ලක්කර තිබෙන්නේ රාජාංගනයෙන් පළමුවෙන් වාර්තා වු කොවිඩ් ආසාදිතයා එම රෝහලෙන් ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණීම හේතුවෙනි.

කන්දකාඩු පුනරුත්ථාපන කඳවුරේ සේවයේ නියුතුව සිටි හමුදා නිලධාරියෙකු කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමග ඔහු සමග සබඳතා පැවැත්වූ නිවාස 7 ක පුද්ගලයින් කැකිරාව කිතුල්හිටියාව ප්‍රදේශයේදී ඊයේ රාත්‍රියේ ස්වයං නිරෝධායනයට ලක්කෙරිණ.

එම නිලධාරියාගේ පවුලේ පස්දෙනෙකු වැඩිදුර පරීක්ෂණ සඳහා අද අලුයම දියතලාවට රැගෙන ගොස් තිබේ.

අනුරාධපුර දිස්ත්‍රික් ලේකම්වරයා පැවසුවේ රාජාංගනය යාය 01, 03, 04, 05 සදහා පැනවූ සංචරණ සීමා තවදුරටත් ක්‍රියාත්මක බවයි.

රාගම පෞද්ගලික රෝහලක් අද පෙරවරුවේ වසා දැමීමට පියවර ගැනුනේ එම රෝහලේ උසස් නිලධාරියෙකුට කොවිඩ් ආසාදනය වී ඇති බව තහවුරු වීමත් සමගයි.

යක්කල වැරැල්ලවත්ත ප්‍රදේශයේ කන්දකාඩු පුනරුත්ථාපන මධයස්ථානයේ උපදේශකවරයෙකුගේ නිවසක සාමාජිකයින් ද මේ වනවිට ස්වයං නිරෝධායනයට ලක්කර තිබේ.

මේ අතර කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සේවය කළ මධ්‍යම පළාතේ පදිංචි හමුදා නිලධාරින් කිහිපදෙනෙකුට වෛසරය ආසාදනය වී ඇතැයි පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය අර්ජුන තිලකරත්න මහතා අද මාධ්‍ය හමුවක් කැඳවමින් ප්‍රකාශ කළේ ය.

පොතුහැර දම්බොක්ක තෝරවතුර ප්‍රදේශයේ පදිංචි යුද හමුදා නිලධාරියෙකුට ද කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.

එම නිලධාරියා ඉකුත් 6 වැනිදා සේවය නිමකර නිවසට පැමිණ ඇති අතර 8 වෙනිදා නඩු කටයුත්තක් සඳහා පොල්ගහවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ද ගොස් ඇති බවයි.

ඒ අනුව අද පොල්ගහවෙල මහේස්ත්‍රාත් අධිකරණය විෂබීජහරණයට ලක්කෙරිණ.

මේ වනවිට 360 ක් වූ වැඩිම කොරෝනා ආසාදිතයින් පිරිසක් ප්‍රතිකාර ලබමින් සිටින්නේ කන්දකාඩු ප්‍රතිකාර මධ්‍යස්ථානයේයි.

වැලිකන්ද මූලික රෝහලේ කොවිඩ් ආසාදිතයින් 77 දෙනෙකු ප්‍රතිකාර ලබමින් සිටින අතර ජාතික බෝවන රෝග විද්‍යායතනයේ ප්‍රතිකාර ලබමින් සිටින සංඛ්‍යාව 55 කි.

සෙසු ආසාදිතයින් පනාගොඩ යුද හමුදා රෝහල, කාත්තන්කුඩි මුලික රෝහල, ඉරණවිල රෝහල, මිනුවන්ගොඩ මුලික රෝහල ඇතුළු රෝහල් කිහිපයක තවදුරටත් ප්‍රතිකාර ලබමින් සිටී.

වසංගත රෝග විද්‍යා අංශය පැවසුවේ, කොරෝනා ආසාදිත බවට සැකකෙරෙන පුද්ගලයින් 120 දෙනෙකු තවදුරටත් වෛද්‍ය අධීක්ෂණ යටතේ පසුවන බවයි.

Read more

Local News