රාජාංගනයේ වයස අවුරුදු 12ක දරුවෙකුට කොරෝනා

Share

රාජාංගනය ප්‍රදේශයේ වයස අවුරුදු 12ක දරුවෙකුට කොවිඩ්-19 ආසාදනය වී ඇති බවට හඳුනාගෙන ඇත.

 

රාජාංගනය යාය 05 ප්‍රදේශයෙන් පසුගිය දා හඳුනාගනු ලැබු කොවිඩ්-19 ආසාදිත කන්දකාඩු මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවුවන් පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ උපදේශකවරයෙකු ලෙස සේවය කළ පුද්ගලයා සහභාගී වු දානමය පිංකමකට පැමිණි දරුවෙකුට මෙසේ වෛරසය ආසාදනය වී ඇති බව හඳුනාගෙන ඇත.

මේ අතර කන්දකාඩු පොකුරට අදාලව පී.සී.ආර් පරීක්ෂාවට ලක්කළ 929 දෙනකුටම කොවිඩ් ආසාදනය වී නොමැති බව තහවුරු වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ඊයේ(17) දින ප්‍රකාශ කළේය.

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියන් බැලීමට පැමිණි ඔවුන්ගේ පවුලේ ඥාතීන් ඇතුළු ළඟම ආශ්‍රිතයින් ද ඒ අතරට අයත්ය.

ඊයේ (17) දිනය තුළ ආසාදිතයින් දෙදෙනෙකු හඳුනාගත් අතර ඉන්දියාවේ සිට පැමිණ නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයෙකු ද ඒ අතරට අයත්ය.

කොවිඩ්-19 ආසාදිතයින් ලෙස පසුගිය (16) දිනයේ දී අලුතින් රෝගීන් 13 දෙනෙකු හඳුනා ගැනුණි.

මේ අතර කන්දකාඩු පොකුරෙන් ඊයේ පස්වරු 5 වන විට හඳුනා ගෙන ඇති ආසාදිතයින් ගණන 542කි.

ඒ අතරින් 443 දෙනෙකු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියන් වන අතර 63ක් කාර්යය මණ්ඩලය හා උපදේශකයින් වේ.

එමෙන්ම ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් 34 දෙනෙකු සහ වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් දෙදෙනකුද ඊට අයත්ය.

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානය ආශ්‍රිත ආසාදිත පොකුරට අදාළව මේ වන විට PCR පරීක්ෂණ 5000ක් සිදුකර අවසන්ය.

ඒ අතුරින් පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියන් බැලීමට පැමිණි පවුලේ ඥාතීන් 114 දෙනා ඇතුළු ඔවුන්ගේ ආශ්‍රිතයින් 368 දෙනාගේම PCR පරීක්ෂණ වාර්තාවලින් ඔවුන් කොවිඩ් ආසාදිතයින් නොවන බවට තහවුරු වී තිබේ.

එමෙන්ම කන්දකාඩු පොකුරට අදාළව PCR පරීක්ෂණ සිදුකළ රන්ටැඹේ 120 දෙනෙක්, පල්ලෙකැලේ 100 දෙනෙක්, තන්තිරිමලේ 120ක්, නිකවැව 78ක්, කොටුගොඩ දේවස්ථානය ආශ්‍රිත 74ක් හා රාගම පෞද්ගලික රෝහල ආශ්‍රිත 69 දෙනෙකු වශයෙන් 561 දෙනෙකුම කොවිඩ් ආසාදිතයින් නොවන බව තහවුරු වී ඇතැයි විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේය.

හෝමාගම කැන්දලන්ද ප්‍රදේශයේ පදිංචි කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ආසාදිත හමුදා නිලධාරියාගේ මවට කොවිඩ් ආසාදනය වී ඇතැයි නිරෝධායන මධ්‍යස්ථානයක දී හඳුනාගෙන තිබේ.

ඇය හෝමාගම සහකාර පොලිස් අධිකාරි කාර්යාලයේ සේවය කළ පොලිස් කොස්තාපල්වරියක් විම හේතුවෙන් ඇයගේ ආශ්‍රිතයින් වන පොලිස් නිලධාරින් 22ක් හා සිවිල් සේවකයින් 8 දෙනෙකු නිරෝධායනයට යොමු කෙරුණි.

කොවිඩ් ආසාදිත බවට තහවුරු වු පිළියන්දල ප්‍රදේශයේ හමුදා නිලධාරියාගේ මවට හා මිත්තනියට ද ඊයේ කොවිඩ් ආසාදිත බවට තහවුරු වීමත් සමග ඔවුන් පදිංචිව සිටි පිළියන්දල, දැල්තර වෙළඳසැල් 4ක් ඇතුළු නිවාස 20ක පුද්ගලයින් 62ක් ස්වයං නිරෝධායනයට යොමු කර තිබේ.

මේ අතර කොවිඩ් ආසාදිත බවට පසුගිය දා තහවුරු වූ යුද හමුදා සෙබළෙකු ඉකුත් 7 වැනි දා සිය පවුලේ සාමාජිකයින් ඇතුළු 20 දෙනෙක් සමග කතරගම වන්දනාවේ ගොස් ඇතැයි අනාවරණ වූ බව කතරගම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා පවසයි.

ඒ අනුව එම පුද්ගලයා සංචාරය අතරතුර නවාතැන් ගත් නවාතැන්පොළේ සිටි දොළොස්දෙනෙකු ස්වයං නිරෝධායනයට යොමු කෙරුණි.

කෙසේ වෙතත් එය නිරෝධායනයට යොමු කර ඇති ස්ථානයක් බව දන්වමින් අලවා තිබු දැන්වීම් පත්‍රිකාව ඊයේ රාත්‍රියේ කිසිවකු ඉරා දමා තිබූ අතර එහි පැමිණි මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් කියා සිටියේ ඊට එරෙහිව නීතිමය පියවර ගන්නා බවය.

මේ අතර රට තුළ පවතින කොවිඩ් වසංගත තත්ත්වය සැළකිල්ලට ගනිමින් නිවාඩු ලබාදුන් දිවයිනේ සියලු පාසල් එළඹෙන සඳුදා (20) විවෘත කිරීමට ඇති හැකියාව සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශය සෞඛ්‍ය බලධාරින්ගෙන් විමසා ඇති අතර ඊට අවශ්‍ය නිර්දේශ ලබා දුන් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේය.

ඒ අනුව එළඹෙන සඳුදා නැවත පාසල් විවෘත කරන්නේ ද නැද්ද යන්න පිළිබඳ තීරණය අද (18) ප්‍රකාශයට පත් කරන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

Read more

Local News