පාස්කු ප්‍රහාරය පිළිබඳ විමසා බැලෙන ජනාධිපති කොමිසම හමුවේ ඊයේ (17) සාක්ෂි ලබා දුන්නේ හිටපු පොලිස්පති එන්.කේ.ඉලංගකෝන් මහතාය.
හිටපු පොලිස්පතිවරයා කොමිසම හමුවේ කියා සිටියේ 2015 සිදුවූ බල පෙරළියෙන් පසු පොලීසිය ආරක්ෂක අමාත්‍යාංශයෙන් ඉවත් කර නීතිය හා සාමය ලෙස වෙනම අමාත්‍යාංශයක් යටතට පත්කිරීම තුළ පොලීසිය සහ ත්‍රිවිධ හමුදාව අතර තිබු සබඳතාවය පළුදු වූ බවය.
රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂකවරයා වූ නිලන්ත ජයවර්ධන මහතා 2015 වර්ෂය දක්වා අන්තවාදය සම්බන්ධයෙන් තමන් වෙත යොමු කරන ලද්දේ ලිපි 03ක් හෝ 04ක් පමණක් බව හිටපු පොලිස්පතිවරයා අනාවරණය කළේය.
ඔහු කියා සිටියේ එම ලිපි කිහිපය තුළ මෙරට අන්තවාදී කණ්ඩායමක් ප්‍රබල ලෙස වර්ධනය වනවා යැයි සඳහන් කර නොතිබූ බවයි.
සහරාන් හෂීම් නැමැත්තෙකු සමාජ ජාලා තුළ වෛරී ප්‍රකාශ පතුරුවා හරින්නේ යැයි සුළු සඳහනක් පමණක් අන්තර්ගත වූ බව ඔහු පැවසීය.
අනතුරුව ප්‍රහාරය පිළිබඳ පෙර දැනුවත් කිරීමේ බුද්ධි තොරතුරු ලිපි පෙන්වා රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය ප්‍රශ්න කළේ ප්‍රහාරය සම්බන්ධයෙන් පූර්ව අනතුරු ඇඟවීමක් මෙලෙස ඔබට ලැබුණේ නම් එතැන් සිට පොලිස්පතිවරයකු වශයෙන් ක්‍රියා කරන්නේ කෙසේද? යන්නයි.
ලිපිය පරීක්ෂා කර බැලු හිටපු පොලිස්පතිවරයා සඳහන් කළේ පළමුව මෙහි බැරෑරුම් බව අවබෝධ කරගෙන, එහි නම් සඳහන් අය පිළිබඳ මෙතෙක් ලැබී ඇති සබැඳි තොරතුරු එක් රැස් කළ යුතු බවය.
ඒ වනවිටත් මාවනැල්ලෙන් සහ වනාතවිල්ලුවෙන් මීට සම්බන්ධ සිදුවීම් දෙකක් පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භ කර තිබූ නිසා එම නිලධාරීන් සහ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය, රාජ්‍ය බුද්ධි සේවය මෙන්ම සෙසු සියලු බුද්ධි අංශ කැඳවා වහාම සාකච්ඡා කිරීම පොලිස්පතිවරයා සිදු කළ යුතු බවත් ඔහු පෙන්වා දුන්නේය.
විශේෂයෙන් රාජ්‍ය බුද්ධි ප්‍රධානියා හමුවී සාකච්ඡා කර උද්ගතව ඇති තර්ජනය පිළිබඳ ආරක්ෂක ලේකම්වරයා සහ ආරක්ෂක අමාත්‍යවරයා දැනුම්වත් කිරීම අනිවාර්යයෙන් සිදුකළ යුතු බවත් ඔහු කියා සිටියේය.
පසුව පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට මේ බව දැනුම් දී සහරාන් හෂීම් ඇතුළු පිරිස අත්ඩංගුවට ගැනීම්ට විශේෂ මෙහෙයුම්ක් ආරම්භ කළ යුතු බව ද ඔහු කියා සිටියේය.
ලිපියේ සඳහන් කර ඇති තර්ජනයට ලක් වී ඇති ස්ථානවල ආරක්ෂාව පිළිබඳ අවධානය යොමු කළ යුත්තේ ඉන් අනතුරුව බවත් තර්ජනය පහව යන තෙක් නිරන්තර අධීක්ෂණයක් ඔස්සේ පොලිස්පතිවරයා කටයුතු කළ යුතු බවත් සාක්ෂිකරු පෙන්වා දුන්නේය.
ලිපිය ලද පසු පැවැත්වෙන සියලු බුද්ධි සමාලෝචන සහ ආරක්ෂක කවුන්සිල රැස්වීම්වල ප්‍රමුඛතම අවධානය දිය යුතු වූයේ ද මේ කරුණ පිළිබඳ බව ද හිටපු පොලිස්පතිවරයා සිය දීර්ඝ පැහැදිලි කිරීම අවසන් කරමින් ප්‍රකාශ කළේය.



