කුරුණෑගල ඓතිහාසික වටිනාකමකින් “රාජසභා ශාලාව“ යැයි විශ්වාස කරන ගොඩනැඟිල්ල කඩා බිඳ දැමීම සම්බන්ධයෙන් විමර්ශනයට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ නියමයෙන් විද්වත් පරීක්ෂණ කමිටුවක් පත්කර තිබේ.
මෙය කුරුණෑගල, බුවනෙක හෝටලය නමින් ද ප්‍රසිද්ධියට පත් ව ඇති එම ගොඩනැඟිල්ල 2020 ජූලි 14 වන දින ඩෝසර් කර විනාශ කර ඇත.
ඒ අනුව සාමාජිකයින් 5 දෙනෙකුගෙන් යුතු කමිටුවක්, සංස්කෘතික හා බෞද්ධ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් අග්‍රාමාත්‍යවරයාගේ නියමයෙන් පත්කර තිබේ.
එම කමිටුවේ සාමාජිකයින් වන්නේ පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්, මහාචාර්ය සෙනරත් දිසානායක (සභාපති), කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් ආර්.එම්.ආර්. රත්නායක, පුරාවිද්‍යාඥ ටී.ජී කුලතුංග, සංස්කෘතික හා බෞද්ධ කටයුතු අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ, පුරාවිද්‍යාඥ, ප්‍රසාද් රණසිංහ, මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ, වාස්තු විද්‍යාඥ සුමේදා මාතොට යන අයයි.
අදාළ ගොඩනැඟිල්ල 1940 අංක 09 දරණ පුරාවස්තු ආඥා පනත යටතේ පුරාවිද්‍යා රක්ෂිතයක් ලෙස සැලකෙන ස්මාරකයකි.
ඒ අනුව මෙම සිදුවීම සම්බන්ධයෙන් විද්වත් කමිටුවේ වාර්තාව ජූලි මස 23 වන දිනට පෙර ඉදිරිපත් කරන ලෙස ද අග්‍රාමාත්‍යවරයා උපදෙස් දී තිබේ.



