මහත් ආන්දෝලනයකට තුඩු දුන් අරන්තලාව භික්ෂු ඝාතන සිදුකළ, දැනට ජීවතුන් අතර සිටින ත්‍රස්තවාදීන්ට එරෙහිව වහා පරීක්ෂණයක් සිදුකරන ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම ප්‍රතික්ෂේප කරන ලෙස ඉල්ලා සීමිත විරෝධතා ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බව නීතිපතිවරයා අද (22) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.
මෙම පෙත්සම අද අගවිනිසුරු ජයන්ත ජයසූරිය, මුර්දු ප්‍රනාන්දු සහ එස්.තුරෙයිරාජ යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියෙහි කැඳවනු ලැබීය.
එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ අවන්ති පෙරේරා මහත්මිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම පෙත්සම සම්බන්ධයෙන් තමන්ට පොලීසිය වෙතින් උපදෙස් ලැබුණේ අද පෙරවරුවේ බවත් මේ සම්බන්ධයෙන් සීමිත විරෝධතා ඉදිරිපත් කිරීම සඳහා දිනයක් ලබා දෙන ලෙස ඉල්ලා සිටියේය.
ඒ අනුව පෙත්සමට අදාළ සීමිත විරෝධතා තිබේ නම් ඒවා සැප්තැම්බර් මස 30 වන දා ගොනු කිරීමට පියවර ගන්නා ලෙස රජයේ නීතිඥවරිය ට නියම කළ ශ්‍රේෂ්ඨාධිකරණය ඊට අදාළ ප්‍රතිවිරෝධතා තිබේනම් ඔක්තෝම්බර් මස 09 වන දා ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙසද පෙත්සම්කාර පාර්ශ්වය ට නියම කළේය.
අනතුරුව පෙත්සම සලකා බැලීම නොවැම්බර් මස 12 වන දා සිදු කරන බව අධිකරණය නියම කළේය.
අදාළ ත්‍රස්ත ප්‍රහාරයෙන් තුවාල ලබා දිවි ගලවා ගත් “ආඳාඋල්පත බුද්ධසාර හිමියන්“ විසින් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ඉදිරිපත් කර තිබේ.
එම පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස නීතිපතිවරයා, වැඩබලන පොලිස්පතිවරයා සහ රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානී සුරේෂ් සලේ යන අය නම් කර ඇත.



