2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේ දී තරුණයෙකු බරපතළ රිය අනතුරකට ලක්කර පලා යාමේ චෝදනා එල්ල වී සිටින හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාට ඔක්තෝම්බර් මස 21 වන දා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස කොළඹ මහාධිකරණ නොතීසි නිකුත් කර තිබේ.
නීතිපතිවරයා විසින් ගොනුකර තිබූ අධිචෝදනා පත්‍ර සළකා බැලීමෙන් පසුව කොළඹ මහාධිකරණ විනිසුරු ධම්මික ගණේපොළ මහතා විසින් නොතීසි නිකුත් කර ඇත.
2016 වසරේ පෙබරවාරි මස 28 වන දා වැලිකඩ පොලිස් වසම තුළ ඩබ්ලිව්.පී.කේ.පී. 4575 දරන ජීප් රථයේ රියදුරු වශයෙන් කටයුතු කරමින් අපරික්ෂාකාරී ආකාරයෙන් රිය පදවා බරපතළ රිය අනතුරක් සිදුකිරීම, එම රිය අනතුර පිළිබඳව පොලීසියට වාර්තා නොකර පලා යාම, බරපතළ තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාට එරෙහිව මෙම අධිචෝදනා පත්‍රය ගොනු කර තිබුණි.



