පාස්කු ප්‍රහාරයට සම්බන්ධ ප්‍රධාන ත්රස්තවාදීන් කිහිපදෙනෙකු සැඟව සිටි ස්ථාන පිළිබඳව නිශ්චිත තොරතුරු රාජ්‍ය බුද්ධි සේවයේ නැගෙනහිර ඒකකය විසින් 2019 මාර්තු මස මුලදී අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දුන්නත් ත්‍රස්ත ප්‍රහාරය එල්ල වන තුරු ඔවුන් අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ක්‍රියා නොකළ බව රාජ්‍ය බුද්ධි සේවයේ නිලධාරියෙකු ජනාධිපති කොමිසම හමුවේ අද (22) අනාවරණ කළේය.
එම නිලධාරියා සඳහන් කළේ ජාතික තවුහිද් ජමාත් සංවිධානයට සම්බන්ධ 94 දෙනෙකුගේ නම් හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට ද, 129 දෙනෙකුගේ නම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ද ප්‍රහාරයට පෙර ලබා දී තිබු බවය.
රාජ්‍ය බුද්ධි සේවයට අනුබද්ධව නැගෙනහිර පළාතේ සේවයේ නියුතු බුද්ධි නිලධාරියා කොමිසමට පැවැසුවේ 2017 මාර්තු 10 වැනි දා කාත්තන්කුඩි ආලියාර් මංසන්ධියේ ඇතිවු ගැටුමෙන් පසු ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ මොහොමඩ් සහරාන්, මොහොමඩ් රිල්වාන්, ආමි මොහිදින් සහ යූසුෆ් අන්වර් යන අයට මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් වරෙන්තු නිකුත් කර තිබූ බවය.
අලියාර් ගැටුමෙන් පසු ප්‍රදේශයෙන් පලාගොස් සිටි සහරාන්ගේ සොයුරු රිල්වාන්, සිය බිරිඳ නෆ්නා සහ අලුත උපන් දරුවා බැලීමට 2019 දී අංක 309/D ෆරිනාස් පාර, 2වන හරස් වීදිය, අරියම්පති නැගෙනහිර, ලිපිනයේ වු නිවසට රාත්‍රී කාලයේ පැමිණ ගිය බවත් අනාවරණ වූ බව සාක්ෂිකරු පැවසීය.
එමෙන්ම යුසුෆ් අන්වර් වරෙන්තුවක් ලබා සිටියදී ද කාත්තන්කුඩි නගරයේ ඇඳුම් මසන ස්ථානයක් පවා පවත්වාගෙන ගියත් පොලීසිය ඔහු අත්අඩංගුවට නොගත් බව ඔහු කියා සිටියේය.
ආමි මොහිදින් කාත්තන්කුඩිහි සිය ස්ථිර නිවසෙන් බැහැරව පාසිකුඩාහි පාළු ඉඩමක තාවකාලිකව නවාතැන් ගෙන සිටින බව ද රාජ්‍ය බුද්ධි සේවය සොයාගෙන තිබූ බව සාක්ෂිකරු පැවසීය.
ඒ අනුව අදාළ ත්‍රස්තවාදින් සැඟව සිටි ස්ථාන පිළිබඳව සියලු තොරතුරු 2019 මාර්තු මස මුලදී අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දුන් අතර ඒ අනුව එහි කණ්ඩායමක් එම වසරේ මාර්තු 07 වැනි දා පාසිකුඩා වෙත පැමිණි බවත් සාක්ෂිකරු පැහැදිලි කළේය.
එහිදී රාජ්‍ය බුද්ධි නිලධාරීන් රිල්වාන් හෂීම් සැඟව සිටින ස්ථානය නිශ්චිතව පැවසූ බවත් ඔවුන් එය සිතියමක ලකුණු කරගත් බවත්, සහරාන්ගේ අනෙක් සොහොයුරා වූ මොහොමඩ් ශෛයිනි සැඟව සිටි ස්ථානය පිළිබඳ නිශ්චිත තොරතුරු ද බුද්ධි නිලධාරින් ලබාදුන් බවත් සාක්ෂිකරු පැවසීය.
නමුත් කිසිදු සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු නොකළ බව බුද්ධි නිලධාරියා කියා සිටියේය.
මේ අතර සහරාන් ත්‍රිකුණාමලය, තෝපුර්හි තාහිද් ග්‍රාමයේ පවත්වාගන ගිය අවි පුහුණු කඳවුරක් පාස්කු ප්‍රහාරය පිළිබඳ විමසා බැලෙන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරින්ගේ ස්ථානීය පරීක්ෂාවට අද (22) ලක්වුණි.
එහි සිදුකළ පරීක්ෂණවලදී සටහන් පොතක් නිලධාරීන් භාරයට ගෙන තිබේ.
ගොවිපොළක් ලෙස පවත්වාගෙන ගිය අක්කර 15කට ආසන්න විශාලත්වයකින් යුත් මෙම ඉඩම පිළිබඳ තොරතුරු හෙළිවූයේ මාවනැල්ල බුදුපිළිම කැඩීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැණුනු ඊබ්‍රාහිම් සාදික් නැමැත්තාගෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව සිදුකළ ප්‍රශ්න කිරීම්වලදීය.
සහරාන් අවස්ථා කිහිපයක දී මෙම කඳවුරට පැමිණි බවත් තමන් ඇතුළු තවත් පස්දෙනෙකු මෙම ඉඩමේ අවි පුහුණුවීම් ලබා ඇති බවත් සාදීක් හෙළි කර තිබේ.
ඉඩමේ අයිතිකරු වන්නේ හාජා මොහිදීන් නම් තෝපූර් ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකි.



