කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පැවැත්වුන අවසන් තරඟයේ දී පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායම නියමිත පන්දුවාර 49.4 කදී සියලු දෙනා දැවී ළකුණු 238 ලබා ගත්තේය. මෙය මෙම තරඟාවලියේ පස්වැනි සහ අවසන් තරඟයයි.
කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක උපුල් තරංග පළමුව පන්දුවට පහර දීම තෝරා ගත්තේය. ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය කිරීමේ අභියෝගය භාරගත් ඉන්දියානු කණ්ඩායම ජයග්‍රහණයට අවශ්‍ය ළකුණු 239 පන්දුවාර 46.3 කදී වාර්තා කිරීමට සමත් විය.
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අවසන් එක්දින තරඟය ද කඩුලු හයකින් ජය ගනිමින් ඉන්දියානු ක්‍රිකට් කණ්ඩායම සමස්ත තරඟාවලියේ ජයග්‍රහණය සනිටුහන් කිරීමට සමත් විය.
මෙවර ඉන්දීය කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයට ටෙස්ට් ක්‍රිකට් තරඟ තුනක් සහ එක්දින තරඟ පහක් ඇතුළත් විය. ශ්‍රී ලංකා භූමියේ පැවති එම තරඟාවලීන් දෙකම ජය ගැනීමට ඉන්දියානු ක්‍රීඩකයන් සමත්වීම ලෝක ක්‍රිකට් දර්ශකයේ ශ්‍රේණිගත වීම අතින් ඔවුන්ට අතිශයින් වැදගත් වෙයි.
ඉන්දියාව සමඟ පැවති මේ එක්දින තරඟාවලිය ශ්‍රී ලංකා කණ්ඩායම සිය රට තුළදී ලද දැවැන්තම පරාජය ද ක්‍රිකට් වාර්තා පොතට එක් කළේය. ඒ අගෝස්තු 31 දා ඉන්දියාවට එරෙහිව ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ පැවති හතරවෙනි එක්දින තරඟයයි. එම තරඟයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය වුණේ ළකුණු 168 කිනි.
එම සිව් වැනි එක් දින සීමිත ඕවර තරඟය පරාජය වීමත් සමග 2019 ලෝක කුසලාන තරඟාවලිය සඳහා නිතරඟයෙන් සුදුසුකම් ලැබීමේ අවස්ථාව ශ්‍රී ලංකා කණ්ඩායමෙන් ගිලිහී ගියේය.
ශ්‍රී ලංකාවට ලෝක කුසලානය සඳහා නිතරඟයෙන් සුදුසුකම් ලැබීමට නම් ඉන්දියාවට එරෙහි එක් දින ශූරතාවලියේ තරග දෙකක් ජයගැනීම අවශ්‍යව තිබුණි.
ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දීය ක්‍රිකට් අභියෝගයට මුහුණ දෙන ලද්දේ සිම්බාබ්වේ කණ්ඩායම අතින් ශ්‍රී ලංකාව තුළදී ලද පරාජයකින් ද අනතුරුවයි.