විපක්ෂයක් පළමුවතාවට දෙකට කැඩිලා – අගමැති

Share

මධ්‍යම සංස්කෘතික අරමුලෙහි මුදල් අවභාවිත කළ පුද්ගලයින්, මහජන සේවයට බව පවසමින් බලය ලබා ගැනීමට උත්සාහ දරමින් සිටින බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

 

අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ මහර, කඩවත ප්‍රදේශයේ ඊයේ (29) පැවති ජන හමුවක් අමතමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරයා පවසා සිටියේ, “මම සංස්කෘතික අමාත්‍යාංශය ගැන සොයාබැලීමට කමිටුවක් පත්කළා. රුපියල් බිලියන 11ක අවභාවිතාවක් වෙලා තියෙනවා මධ්‍යම සංස්කෘතික අරමුදලෙන්. මේ අරමුදල තියෙන්නේ පන්සල්වලට හා ආගමික ස්ථානවලට උදව් කරන්න,“ යනුවෙනි.

අරමුදලේ මුදල්වලින් පෝස්ටර් ඇලවීම වැනි විවිධ කටයුතු සිදුකර ඇතැයි ද පැවසු අග්‍රාමාත්‍යවරයා, පසුගිය ජනාධිපතිවරණයේ දී මිලියන 400ක මුදලක් කිසිදු අනුමැතියක් නොමැතිව නිදහස් කර ඇතැයි ද පැවසීය.

මේ අතර භාණ්ඩාගාර අනුමැතියෙන් තොරව ජංගම ගිණුම් 25 ක් ද පවත්වාගෙන ගොස් ඇතැයි පැවසු අග්‍රාමාත්‍යවරයා, මෙවැනි පුද්ගලයින් අද නායකත්වය ඉල්ලා සිටින බව ද කියා සිටියේය.

අවිධිමත් ලෙස රැකියා රැසක් තරුණයින්ට ලබා දී ඇතැයි ද පැවසු මහින්ද රාජපක්ෂ මහතා, එක්සත් ජාතික පක්ෂය බලයේ සිටින විට මෙවැනි ක්‍රියා සිදුකරන බව ද පැවසීය.

“විපක්ෂයක් පළමුවතාවට දෙකට කැඩිලා“ යනුවෙන් ද ඔහු කියා සිටියේය.

Read more

Local News