සිය පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමට එක්සත් ජාතික පක්ෂය ගෙන ඇති තීරණය ක්‍රියාත්මක වීම වැළැක්වීමේ වාරණ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා එම පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා විසින් කොළඹ දිසා අධිකරණය හමුවේ නඩුවක් ගොනු කර තිබේ.
එම නඩුවේ වගඋත්තරකරුවන් ලෙස එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ, උප නායක රවී කරුණානායක, සහ එක්සත් ජාතික පක්ෂයේ මහා ලේකම් අකිල විරාජ් කාරියවසම් යන මහත්වරු නම් කර ඇත.
පැමිණිලිකාර රංජන් රාමනායක මහතා සිය පැමිණිල්ලෙන් කියා සිටින්නේ සමගි ජන බලවේගය නැමැති සන්ධානය ස්ථාපිත කරන ලද්දේ එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණයකට අනුව බවය.
සමගි ජන බලවේගය පක්ෂයෙන් ඉදිරි මැතිවරණය සඳහා නාමයෝජනා බාරදුන් සාමාජිකයින් 53 දෙනෙකුගේ හා එක්සත් ජාතික පක්ෂයෙන් තේරි පත්වු පළාත් පාලන මන්ත්‍රීවරු 60 දෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල අනුමැතිය පසුගිය දා හිමිවිය.
මේ අතර අද දිනයේ දී ද එක්සත් ජාතික පක්ෂයෙන්, පළාත් පාලන ආයතනවලට තේරී පත්වු නියෝජිතයින් 37 දෙනෙක් ගේ පක්ෂ සාමාජිකත්වය තාවකාලිකව අත්හිටුවනු ලැබීය.



