ඡන්දදායකයින්ට විශේෂ නිවේදනයක්

Share

කාලය ඉකුත් වී තිබුණ ද, මෙවර මහ මැතිවරණයේ ඡන්දය භාවිත කිරීම සඳහා රියදුරු බලපත්‍රය වලංගු හැඳුනුම්පතක් සේ සලකන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

 

ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා වලංගු හැඳුනුම්පතක් වන රියදුරු බලපත්‍රයේ වලංගු කාලය ඉකුත් වී තිබුණ ද කොවිඩ් වසංගතය හේතුවෙන් එවැනි බලපත්‍රවල වලංගු කාලය දීර්ඝ කිරීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

ඒ අනුව, මාර්තු මස සිට ජුනි මස දක්වා, කාල්ඉකුත්වන රියදුරු බලපත්‍ර සඳහා මාස 6ක් සහ ජුනි මස සිට සැප්තැම්බර් මාසය දක්වා කල්ඉකුත් වන රියදුරු බලපත්‍ර සඳහා මාස 3ක් ලෙස මෙලෙස සහන කාලය ලබා දී ඇත.

කෙසේවෙතත් මෙම සහන කාලය නොඉක්මවන රියදුරු බලපත්‍ර මෙවර මැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා වලංගු හැඳුනුම්පතක් සේ සලකන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය.

මේ අතර, නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව පවසන්නේ මෙවර මහ මැතිවරණයේ දී ඡන්දදායකයින්ට ඡන්දය සලකුණු කිරීම සඳහා තමාගේ පෑනක් භාවිත කිරීමට අවකාශය පවතින බවය.

එය නිල් හෝ කළු පැහැති පෑනක් විය යුතු අතර එහි පක්ෂයක් හෝ අපේක්ෂකයෙක් ප්‍රවර්ධනයවන ආකාරයේ කිසිදු සලකුණක්, වර්ණයක්, ලාංඡනයක් සහිත එකක් නොවිය යුතු බව ද කොමිෂන් සභාව නිවේදනය කර තිබේ.

යම් ඡන්දදායකයෙකුට ඡන්දය සලකුණු කිරීම සඳහා තමාගේ පෑනක් ගෙන ඒමට හැකියාවක් පවතින්නේ නැතිනම් එවැනි ඡන්දදායකයින්ට ඡන්දය භාවිත කිරීම සඳහා විෂබීජ හරණය කරන ලද පෑනක් ලබාදෙන බව ද කොමිෂන් සභාව සඳහන් කළේය.

Read more

Local News