ජනපති අමානි රායිදා කුඩා දැරියගේ ඉල්ලීම ඉටුකරමින් අැගේ නිවසට

Share

අවුරුදු 07 ක් වයසැති එම්.එන්. අමානි රායිදා කුඩා දැරිය සිය දෙමව්පියන් සමග පසුගියදා බදුල්ලේ සිට කොළඹට පැමිණියේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හමුවීමටය.
කිසිවෙකුට නොදන්වා ආ මේ ගමනේදී ජනාධිපතිතුමා හමුවේයැයි දැරිය හෝ ඇයගේ දෙමාපියන් මදකටවත් විශ්වාස නොකළ අතර, කුඩා දැරියක් තමා හමුවීමට ආශාවෙන් ජනාධිපති කාර්යාලය ඉදිරිපිට රැදී සිටින බව දැනගත් ජනාධිපතිතුමා කෙතරම් කාර්ය බහුල තත්ත්වයක සිටිය ද තම ආරක්ෂක නිලධාරින් යවා දැරිය තමා අසළට ගෙන්වා ගනිමින් ඇයගේ ආගිය තොරතුරු විමසුවේය.
මහත් සෙනෙහසින් යුතුව ජනාධිපතිතුමා සමග පිළිසදරක නිරත වූ දැරිය තමා අතින් ඇඳි චිත්‍රයක් ජනාධිපතිතුමා වෙත පිළිගැන්වූවා පමණක් නොව බදුල්ලට පැමිණෙන්නේ නම් තම නිවසට ද එන ලෙස ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටියාය. එපමණක් නොව පැමිණෙන්නට පෙර දුරකථන ඇමතුමක් ලබාදෙන ලෙස ද ඇය ජනාධිපතිතුමාට කීවේය.
දැරියගේ ඉල්ලීම ඉවත නොදැමූ ජනාධිපතිතුමා ඊයේ (28) දින බදුල්ලේ පැවති ජනහමුවට සහභාගීවීමෙන් අනතුරුව ඇයගේ නිවසට ද ගොඩවැදුණේ කෙතරම් කාර්ය බහුල වුවද කුඩා දැරියගේ ඉල්ලීම ඉවත දැමීමට තිබූ අකමැත්ත නිසාමය.
තම යහළු යෙහෙළියන් සමඟ ජනාධිපතිතුමා පැමිණෙන පෙරමඟ බලා සිටි අමානි රායිදා කුඩා දැරිය තම නිවසට පැමිණි ජනාධිපතිතුමා මහත් සෙනෙහසින් යුතුව පිළිගත්තාය.
දැරිය ඉදිරිපත් කළ ගීතයක් රසවිදිමින් සහ කුඩා දරු දැරියන් සමග ගීත ගායනයකට ද එක්වෙමින් ළමා ලොව සොදුරු අසිරිය මැද මොහොතක් ගත කළ ජනාධිපතිතුමා කුඩා දරු දැරියන්ට සමුදුන්නේ නැවතත් කොළඹ පැමිණෙන විට තමා බලන්න එන්නැයි ඔවුන්ට සෙනෙහෙබර ඇරයුමක් ද කරමිනි.

Read more

Local News