සීනි සමග කොකේන්: මත්ද්‍රව්‍ය ජාවාරම ගැන මේ කරුණු දැන සිටියාද?

Share

ශ්‍රී ලංකාව තුළ මහා පරිමාණ වශයෙන් මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීමේ සිදුවීම් රැසක් පසුගිය දිනවල දිගින් දිගටම වාර්තාවිය.

අවසාන වශයෙන් රත්මලාන සතොස ගබඩාවේ සීනි කන්ටේනරයක තිබී කිලෝ 218ක කොකේන් ප්‍රමාණයක් සොයාගත් අතර ඒ සමගම ශ්‍රී ලංකාව මත්ද්‍රව්‍ය ප්‍රවාහනයේ හුවමාරු මධ්‍යස්ථානයක් ලෙස යොදාගන්නා බවට චෝදනා එල්ලවිය.

ශ්‍රී ලංකා රේගුවේ සංඛ්‍යාලේඛන අනුව 2016 ජනවාරි මාසය තුළ රට තුලට රැගෙන ඒමට උත්සාහ කළ අවස්තාවේ රේගුව අත්අඩංගුවට ගත් කොකේන් ප්‍රමාණය පමණක් කිලෝ 1232කි.

එහි වටිනාකම රුපියල් බිලියන 18කි. (18,481,260.500.00)

ඒ කාලපරිච්ඡේදය තුළ රේගුව අත්අඩංගුවට ගත් හෙරොයින් මත්ද්‍රව්‍ය ප්‍රමාණය 16KG. එහි වටිනාකම රුපියල් කෝටි 16ක් පමණ වේ. (166,090,000.00)

ඊට අමතරව රේගුවට මගහැරුණු පසුව පොලිසිය අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොග ද තිබේ. පසුගියදා සතොස ගබඩා පරිශ්‍රයේද අත්අඩංගුවට ගත් කොකේන් කිලෝ 218 රේගුවේ ඉහත සංඛ්‍යාලේඛනවලට ඇතුළත් නොවේ.

මෙලෙස කොකේන් වැඩිපුරම රටට පැමිණ තිබෙන්නේ බ්‍රසීලයෙන් ආනයනය කළ සීනි තොගත් සමගය. පසුගිය වසර කිහිපය තුළ අවස්ථා ගණනාවක සීනිත් සමග කොකේන් අත්අඩංගුවට ගත් අතර ඒ හේතුවෙන් සීනි ආනයනකරුවෝ දැඩි අර්බුදයකට මුහුණ දුන්හ.

“පළමු වරට මේක සිදුවුනේ ගිය වසරේ ජුනි මාසයේ. එතකොට මේ බහාලුම රේගුවෙන් අරන් ගිහිල්ල ආනයනකරුගේ ගබඩාවේ සති දෙකකට වැඩි ප්‍රමාණයක් තිබුණා. බඩු බාල තිබුනේ නැහැ. ඒ අවස්ථාවේ රේගුවට ලැබුණු තොරතුරක් මතයි ඔවුන් පසුව මේ අත්අඩංගුවට ගැනීම සිදු කළේ,” සිනි ආනයනකරුවන්ගේ සංගමයේ ලේකම් හේමක ප්‍රනාන්දු බීබීසියට අදහස් දක්වමින් පැවසීය.

“මේ බහාලුමේ එහෙම දෙයක් තියෙනවා කියලා අපේ ආනයනකරු දන්නේ නැහැ. ඔහු දැනගෙන ගෙනාවනම් සති දෙකක් බහාලුම ගබඩාවේ බාන්නේ නැතුව තියන්නේ නැහැ.”

මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගත අවස්ථාවක්

කෙසේ නමුත් එම ආනයකරු අත්අඩංගුවට ගෙන මාස ගණනාවක් සිරගත කර පසුව නිදහස් කළ බව ද ඔහු පැවසීය.

“පළමු සිදුවීමේ ආනයනකරු අත්අඩංගුවට ගත්තා. නමුත් ඊට පස්සේ අහුවුණු වෙලාවේ ආනයනකරුවන් අත්අඩංගුවට ගත්තේ නැහැ. මොකද රේගුව හා පොලිසිය දැනගත්තා මේකට ආනයනකරුවන් සම්බන්ධ නැහැ කියලා.”

ශ්‍රී ලංකා රේගුවේ මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න පවසන පරිදි මෙලෙස අත්අඩංගුවට ගත් කොකේන් තොගවල ගමනාන්තය ශ්‍රී ලංකාව නොවේ.

“අපිට තියෙන තොරතුරු අනුව මෙතරම් කොකේන් ප්‍රමාණයක් ලංකාවේ පරිහරණයට අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද මේක එතරම් විශාල ප්‍රමාණයක්.”

බ්‍රසීලයේ සිට ගෙන එනු ලබන මෙම මත්ද්‍රව්‍ය පෘතුගාලයට ගෙනයාමේ අරමුණින් ගෙනවිත් ඇති බව‍ට තොරතුරු හෙළිවී තිබෙන බව ඔහු පැවසීය.

“බ්‍රසීලයෙන් ගෙන එන සීනි කන්ටේනර් ලංකාවට එන්න කලින් පෘතුගාලයේ සංක්‍රමණික වරායක් හරහා තමයි එන්නේ. අපිට තියෙන ආරංචි අනුව පෘතුගාලයේ මාෆියා කල්ලි මේවා ලබාගන්නවා යම්කිසි මෙහෙයුමකින්. එලෙස ලබාගැනීමේ මෙහෙයුම අසාර්ථක වුවහොත් එය අවසාන ගමනාන්තය දක්වා පැමිණෙනවා,” රේගුවේ මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න බීබීසී සිංහල සේවයට පැවසීය.

මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගත අවස්ථාවක්

“මේ මාෆියා කල්ලි 10ක් මේවගේ කරන කොට එකක් හෝ දෙකක් වරදිනවා. ඔවුන්ගේ විශාල ලාබාංශ ඇතුළේ මේ පාඩුව ඔවුන්ට දරා ගන්න පුළුවන්,” සීනි ආනයනකරුවන්ගේ සංගමයේ ලේකම් හේමක ප්‍රනාන්දු පැවසීය.

කෝටි 500ක්, කෝටි 200ක් වැනි වටිනාකමක් ඇති මෙවැනි මත්ද්‍රව්‍ය තොග එහි මුල් අයිතිකරුවන් අමතක කරනු ඇතිදැයි රේගුව තමන්ගෙන් ප්‍රශ්න කළ බව ඔහු සඳහන් කළේය.

“අපි කිව්වේ අපිට ඒකට උත්තර දෙන්න දන්නේ නැහැ. මොකද මේකේ වටිනාකම් අපි දන්නෙත් නැහැ. අපි මේක ඇනවුම් කළෙත් නැහැ. අපි ඇනවුම් කළේ සීනි. අපි ඇනවුම් කළ භාණ්ඩ පැටවූ කන්ටේනර්වල මේවා තිබුණා. එච්චරයි අපි දන්නේ.”

අවසාන වශයෙන් මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගනු ලැබුන සතොස සිදුවීම එලෙස ආනයනකරු හෝ සතොස ආයතනය දැනුවත්ව සිදුවූ දෙයක් නොවන බව පවසන ඔහු, බ්‍රසීලයේ සිට මෙරටට ඉකුත් වසරේ නොවැම්බර් මස ගෙන්වන ලද සීනි කන්ටේනරයක තිබී මෙම කොකේන් තොගය හමු වී ඇති බවත් සඳහන් කළේය.

පසුගිය වසරේ අවසානයේ සිට බ්‍රසීලයෙන් සීනි ආනයනය කිරීම පවා නවතා දමා ඇති බව පැවසූ සිනි ආනයනකරුවන්ගේ සංගමය මේ හේතුවෙන් වෙනත් රටවලින් වැඩි මිලට සිනි මිලදී ගැනීමට සිදුවී ඇති බව ද පෙන්වාදුන්නේය.

මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගත අවස්ථාවක්

“මේ ප්‍රශ්න හේතුවෙන් බ්‍රසීලයට පවා දැන් සිදුවෙලා තියෙනවා සීනි අමුද්‍රව්‍ය අපනයනය කරන්න වෙන රටවලට,” සංගමයේ ලේකම් හේමක ප්‍රනාන්දු පවසයි.

ඊට අමතරව සීනි කන්ටේනර් රේගුවේ දැඩි පරික්ෂාවකට ලක් වීමත් ඊට කල්ගතවීමත් හේතුවෙන් ආනයනකරුවන්ට දැඩි අලාභයන් සිදුවන බවත් සංගමය පෙන්වාදෙයි.

කෙසේ නමුත් ශ්‍රී ලංකා රේගුව පවසන්නේ සීනි ආනයනකරුවන්ගේ ඉල්ලීම මත යම් ලිහිල් කිරීමක් කළ නමුත් සතොස ගබඩාවේ මත්ද්‍රව්‍ය හමුවීමත් සමග පරික්ෂාව දැඩි කර ඇති බවය.

“මේක සංකීර්ණ ක්‍රියාවලියක්. ලේසි නැහැ 100%ක් බලන එක. සීනි සම්පුර්නයෙනම හලලා බලපු අවස්ථාත් තියෙනවා. නමුත් දැන් දැඩි පරික්ෂාවට ලක් කරලා තමයි බාර දෙන්නේ.”

මෙලෙස හමුවූ මත්ද්‍රව්‍ය ශ්‍රී ලංකාව හරහා හුවමාරු කිරීමේ උත්සාහයක් තිබුණු බවට වාර්තා ලැබී නැති බව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරියෙක් බීබීසී සිංහල සේවයට පැවසීය. කෙසේ වෙතත් තවදුරටත් පුළුල් පරෙක්ෂණයක් පැවැත්වෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර සඳහන් කළේය.

Read more

Local News