මෙරට සිදුකළ PCR පරීක්ෂණ ගණන ලක්ෂ 2 ඉක්මවයි

ඊයේ (23) දිනය තුළ පමණක් මෙරට පීසීආර් පරීක්ෂණ 1610ක් සිදුකර ඇති අතර, මේ වන විට සිදුකර ඇති සමස්ථ පීසීආර් පරීක්ෂණ සංඛ්‍යාව 205,707ක් බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

 

මේ අතර, අද (24) දිනය තුළ ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුළින් පුද්ගලයින් 1212 දෙනෙක් පිටව යෑමට නියමිතව ඇතැයි ද එම මධ්‍යස්ථානය සඳහන් කරයි.

මේ වන විට පුද්ගලයින් 31,541ක් දෙනෙක් නිරෝධායනය අවසන් කර නිවෙස් වෙත පිටව ගොස් ඇත.

එමෙන්ම ත්‍රිවිධ හමුදාව විසින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 58ක පුද්ගලයින් 7,620 දෙනෙක් නිරෝධායනය වෙමින් සිටියි.

අද දිනය තුළ විදෙස්ගතව සිටින පුද්ගලයින් 85 දෙනෙක් මෙරටට පැමිණීමට නියමිතව සිටියි.

දෝහා කටාර් සිට පුද්ගලයින් 20 දෙනෙක් හා අමීදාබාද් සිට පුද්ගලයින් 65 දෙනෙක් එලෙස පැමිණීමට නියමිතය.

මේ අතර, මෙරටින් වාර්තාවන කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් ගණන 2953ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ ඊයේ දිනයේ දී අලුතින් හඳුනා ගැණුනු ආසාදිතයින් 06 දෙනා ද සමගය.

මේ වන විට කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 136 දෙනෙකු රෝහල්වල පුර්ණ වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබයි.

මේ දක්වා වාර්තා වී ඇති ආසාදිතයින්ගෙන් 2805 දෙනෙකු පුර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව සෞඛ්‍ය ආමාත්‍යාංශය සඳහන් කළේය.

Exit mobile version