අතුරු සම්මත ගිණුම අද පාර්ලිමේන්තුවේදී විවාදයට

අද (27) සහ හෙට (28) රජයේ අතුරු සම්මත ගිණුම පාර්ලිමේන්තුවේදි විවාදයට ගැනිමට නියමිතව ඇති අතර මෙම වසරේ එලඹෙන මාස 04ක් සදහා වන අතුරු සම්මත ගිණුමට කැබිනට් අනුමැතිය හිමිව ඇත.

 

ඊයේ (26) පස්වරුවේ රැස්වූ කැබිනට් මණ්ඩලය අතුරු සම්මත ගිණුම සඳහා අනුමැතියව ලබාදුන් බව කැබිනට් ප්‍රකාශක ජන මාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹූක්වැල්ල මහතා සඳහන් කළේය.

අද පෙරවරු 09.30ට පාර්ලිමේන්තුව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්විමට නියමිත අතර එහිදී රුපියල් බිලියන 1300කට නොවැඩි මුදල් වියදම් දැරිමට අනුමැතිය ඉල්ලා සිටිමින් රජය විසින් ඉදිරිපත් කර ඇති අතුරු සම්මත ගිණුම පිළිබඳ විවාදය ආරම්භ විමට නියම්තය.

පූර්ණ යෝජනාවක් ලෙස ඉදිරිපත් වූ මෙම අතුරු සම්මත ගිණුම පිළිබඳව ශ්‍රී ලංකා පාර්ලිමේන්තු වේ ස්ථාවර නියෝග 27 අනුව න්‍යාය පුස්තකය මඟින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දැනුම්දීමට මේ වන විටත් කටයුතු කර ඇති බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

තවද රුපියල් බිලියන 750කට නොවැඩි මුදලක් භාණ්ඩාගර බිල්පත් නිකුතුව හරහා ණයට ගැනිම සඳහා වන යෝජනාව ද අද පාර්ලිමේන්තුවේ විවාදයට ගැනිමට නියමිතව තිබේ.

එමෙන්ම පාර්ලිමේන්තු කටයුතු පිළීබඳ කාරක සභාව පත් කිරිම සඳහා වන යෝජනාව ද පාර්ලිමේන්තුවට අද ඉදිරිපත් කිරිමට නියමිතය.

එම කාරක සභාවට අදාළ නියෝජිතයින් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙනු ඇත.

එමෙන්ම පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සහ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ සංයුතිය අනුමත කිරීම අද පාර්ලිමේන්තුවේ දී සිදු කිරීමට නියමිතව තිබේ.

අද සහ හෙට පාර්ලිමේන්තුව පෙරවරු 09.30 සිට පස්වරු 06.30 දක්වා රැස්වන අතර දිවා ආහාර විවේකයෙන් තොරව පාර්ලිමේන්තු රැස්විම පවත්වාගෙන යාමට පසුගියදා රැස්වූ පක්ෂ නායක හමුවේ දී තීරණය වී ඇති බව වාර්තා වේ.

මේ අතර කොවිඩ් නයින්ටීන් වසංගත තත්ත්වය හේතුවෙන් නැවත දැනුම් දෙන තුරු අමුත්තන් සඳහා පාර්ලිමේන්තු මහජන ගැලරිය විවෘත කිරිම තාවකාලිකව අත්හිටුවා තිබේ.

Exit mobile version