පාස්කු ඉරුදින ප්‍රහාරය : ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රතික්ෂේප කළ ඉල්ලීම

Share

පාස්කු ඉරුදින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාර මාලාව වළක්වා ගැනීමට ක්‍රියා නොකිරීම තුළින් මූලික අයිතීන් උල්ලංඝනය කළේ යැයි චෝදනා කරමින් ගොනුකර ඇති මුලික අයිතිවාසිකම් පෙත්සම්වලට අදාළ විභාගය සඳහා මේ වන විට එම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ ඉදිරිපත් වී ඇති සාක්ෂිවල සටහන් සහ තොරතුරු ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට කැඳවන නියෝගයක් නිකුත් කරන්නැයි කෙරුණු ඉල්ලීමක් ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කළේය.

 

අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ, සිසිර ද ආබෘ, ප්‍රියන්ත ජයවර්ධන, එල්. ටී .බී .දෙහිදෙණිය, මුර්දු ප්‍රනාන්දු සහ ප්‍රීති පද්මන් සූරසේන යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කළේය.

ශ්‍රී ලංකා නීතිඥ සංගමය සහ නීතිඥ මෝදිත ඒකනායක යන පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු විසින් මෙම ඉල්ලීම ඉදිරිපත් කළ බව අප වාර්තාකරු පැවසීය.

ශ්‍රී ලංකා නීතිඥ සංගමය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ, පාස්කු ඉරු දින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විසින් පත් කරනු ලැබූ පරීක්ෂණ කොමිෂන් සභාවක් හමුවේ පරීක්ෂණයක් සිදුකරන බවත්, එහිදී ඉතා පුළුල් හා සංකීර්ණ සාක්ෂි මේ වන විට අනාවරණය වී තිබෙන බවයි.

එම කොමිසම හමුවේ ප්‍රසිද්ධියේ සහ රහසිගත ආකාරයෙන් සාක්ෂිකරුවන්ගෙන් සාක්ෂි සටහන් කර ගැනීම සිදු වී තිබෙන බවත්, එම සාක්ෂි තුළින් මෙම ප්‍රහාරයට වගකිවයුතු පුද්ගලයින්, එම ප්‍රහාරය වළක්වාලීමේ වගකීම පැහැර හරිනු ලැබූ පුද්ගලයින් සහ ඊට වගකිව යුතු විවිධ සංවිධාන පිළිබඳව ද තොරතුරු අනාවරණය වී ඇතැයි ජනාධිපති නීතිඥවරයා සඳහන් කළේය.

Read more

Local News