බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාල ගැටළුවලට ඉදිරියේ දී විසඳුම්

Share

ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලය ආශ්‍රිතව මේ වනවිට පවත්නා තත්ත්වය පිළිබඳ විමර්ශනයක් සිදුකිරිමට පත්කළ කමිටුවේ වාර්තාව කමිටු සාමාජිකයන් විසින් ඊයේ(08) පස්වරුවේ අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා වෙත පිළිගන්වන ලදී.

 

බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ පරිපාලනය, අධ්‍යයන විෂය මාලා, අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩල ක්‍රියාකාරීත්වය, ආයතනික විනය සහ විශ්වවිද්‍යාලයේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ විෂයභාර අමාත්‍යවරයාගේ අවධානයට ලක් කළ යුතු කරුණු රැසක් මෙම කමිටු වාර්තාවේ ඇතුළත් කොට ඇත.

විශ්වවිද්‍යාලයේ අධ්‍යයන සහ අනධ්‍යයන කාර්ය මණ්ඩල බඳවා ගැනීම පත්කිරීම් ආදිය සම්බන්ධයෙන් ඉදිරිපත්ව ඇති  අක්‍රමිකතා සහ චෝදනා සම්බන්ධයෙන් සොයාබලා අවශ්‍ය කඩිනම් පියවර ගැනීමටත්, කමිටුව විසින් ඉදිරිපත් කර ඇති සංශෝධන ප්‍රකාරව ඉදිරියේ දී ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාල පනත සංශෝධනයකර පාර්ලිමේන්තුවේ සම්මත කිරීමට අවශ්‍ය කටයුතු සැලසීමටත්, විශ්වවිද්‍යාල අධ්‍යයන කාර්ය මණ්ඩල විසින් කලින් කල සංශෝධනය කරන විෂයමාලාව විෂයභාර අමාත්‍යාංශයේ පුහුණු අධීක්ෂණය යටතට පත්කොට පනතේ අරමුණු ඉටු වන අයුරින් සංශෝධනය වී ඇත්දැයි සොයාබැලීමට සහ අමාත්‍යාංශයේ පූර්ව අනුමැතියකින් පසුව එවැන්නක් ක්‍රියාත්මක කිරීමට අවකාශ ලබා දීම ඇතුළු ප්‍රමුඛ කරුණු රැසක් කමිටු වාර්තාවේ සඳහන් වෙයි.

කමිටුව විසින් පෙන්වා දී ඇති කරුණු ගැඹුරින් නිරීක්ෂණයට ලක් කරමින් ඉදිරි මාස කිහිපය ඇතුළත ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ මතුව පවත්නා තත්ත්වයට ස්ථාවර විසඳුම් ලබාදීමට පියවර ගන්නා බවත්, ඒ අනුව ඊට අදාළ අණපනත්, විධිවිධාන සහ ඉදිරි ක්‍රියාමාර්ග ක්‍රියාවට නැංවීමට තමා සූදානම් බවත් මෙහිදී අදහස් දක්වමින් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතා පැවසීය.

Read more

Local News