වැව් 5000ක් කඩිනමින් ප්‍රතිසංස්කරණයට – ජනපතිගෙන් උපදෙස්

Share

පුරාණ තාක්ෂණය සහ නූතන විද්‍යාත්මක ක්‍රමවේදයකට අනුව දිවයින පුරා වැව් 5000ක් කඩිනමින් ප්‍රතිසංස්කරණය කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් ලබාදුනි.

 

ඒ සමග දිවයින පුරා ඇති පුරන් කුඹුරු අක්කර 120,000ක් ආශ්‍රිතව “ජාතික ආහාර නිෂ්පාදන දායකත්ව වැඩසටහන ක්‍රියාත්මක කරනු ලැබේ.

වැව් පිළිසකර ව්‍යාපෘතිය කඩිනම් කිරීමට සිවිල් ආරක්ෂක බලකාය සහාය කර ගැනේ.

ග්‍රාමීය කුඹුරු, ආශ්‍රිත වැව්, ජලාශ හා වාරිමාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබඳව ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ(09) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී යෝජිත වැඩසටහන් පුළුල්ව විමර්ශණය කෙරිණ.

“මින් පෙරත් වැව් ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කළා. එය විද්වතුන්ගේ සහ ජනතාවගේ බලවත් දෝෂ දර්ශනයට ලක් වුණා. ඊට හේතුව වැව් හාරා ගැඹුරු කළත් ජලය රඳවා ගැනීමේ පුරාණ තාක්ෂණ සහ විද්‍යාත්මක ක්‍රම භාවිත නොකිරීම. එවැනි අඩු පාඩු මග හරිමින් පොදු නිර්ණායකයක් යටතේ ඒ ඒ ප්‍රදේශවලට සහ වැව් වලට ආවේණික ක්‍රමයකට ප්‍රතිසංස්කරණ වැඩ කළ යුතුයි”. යැයි ජනාධිපතිතුමා පැහැදිලි කළේය.

වාරි මාර්ග පද්ධතියෙන් නඩත්තුවන කෘෂි ඉඩම් පරිහරණ රටාවක් පිළිබඳව ඉඩම් පරිහරණ දෙපාර්තමේන්තුව හා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව එක්ව සමීක්ෂණයක් කර ඇත. ඉන් අනාවරණය වූ තොරතුරු පදනම් කර ගනිමින් මනා ජල කළමනාකරණයක් ඇතිව මැද කන්න සහ අතුරු කන්නවලදී හඳුනාගත් කෘෂි බෝග 17 ක් වගා කිරීමට සැලසුම් කර තිබේ.

Read more

Local News