පාසල් ළමුන්ගේ පෝෂණය ඉහළ දැමීමට අගමැතිගෙන් යෝජනාවක්

Share

පාසල් ළමුන්ගේ පෝෂණ තත්ත්වය ඉහළ දැමීම සඳහා දෛනිකව බිත්තරයක් ලබාදීම පිළිබඳව සොයා බලන්න යැයි අධ්‍යාපන අමාත්‍යවරයාට උපදෙස් ලබා දී ඇති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද(11) දින පැවසීය.

 

බේකරි හිමියන්ගේ සංගමය හා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය විජේරාම නිල නිවසේදී හමු වූ අවස්ථාවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළේය.

බේකරි නිෂ්පාදන සඳහා බිත්තර මිල බලපාන ආකාරය පිළිබඳව බේකරි නිෂ්පාදකයින්ගේ සංගමය විසින් අග්‍රාමාත්‍යතුමා දැනුවත් කළ අතර බිත්තර නිෂ්පාදනයේදී වැයවන අධික පිරිවැය සම්බන්ධයෙන් බිත්තර නිෂ්පාදකයෝ එහිදී කරුණු පැහැදිලි කළහ.

දිවයිනේ සියලුම බේකරි නිෂ්පාදන ආයතන සඳහා ස්ථාවර තොග මිලකට බිත්තර ලබාදීමට හැකි බව බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය මෙම හමුවේදී අවධාරණය කළේය.

ඒ අනුව පාරිභෝගිකයන්ට සහනයක් සැලසෙන අයුරින් සංගම් දෙක අතර ගිවිසුම්ගත සම්මුතියකට පැමිණෙන්න යැයි අග්‍රාමාත්‍යතුමා අදාළ නියෝජිත පිරිසට දැන්වූයේය.

කුකුළු පැටවකුගේ මිල රුපියල් 175-200 අතර මිලකට පහත හෙළීම පිළිබඳව සහ බිත්තර නිෂ්පාදකයන් සහ බේකරි හිමියන් සඳහා වන ගිවිසුම්ගත එකඟතාවයට මැදිහත්වන්න යැයි අග්‍රාමාත්‍යතුමා විෂය භාර අමාත්‍යවරුන්ට මෙම හමුවේදී උපදෙස් දුන්නේය.

Read more

Local News