එස්.එෆ්.ලොක්කාගේ හා ඥාතීන්ගේ බැංකු ගිණුම් ගැන වාර්තාවක් පොලිසියට ලබා දෙන්නැයි නියෝග

අපරාධකරුවෙකු වූ මියගිය ඉරෝන් රණසිංහ නොහොත් “එස්.එෆ්.ලොක්කා“ ඔහුගේ පවුලේ ඥාතීන් හා පෙම්වතිය ඇතුළු දස දෙනෙකුගේ නමින් ඇති බැංකු ගිණුම් සම්බන්ධයෙන් සවිස්තර වාර්තාවක් පොලීසියට ලබා දෙන්නැයි අනුරාධපුර ප්‍රධාන මහෙස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු ජනක ප්‍රසන්න සමරසිංහ මහතා රාජ්‍ය සහ පෞද්ගලික බැංකු ශාඛා තිස් දෙකක කළමනාකාරීත්වයට නියෝග කර ඇත.

 

අනුරාධපුර මූලස්ථාන පොලීසියේ නඩු කටයුතු මෙහෙයුම් අංශයේ ස්ථානාධිපතිවරයා අධිකරණයට කළ කරුණු දැක්වීමක් සැලකිල්ලට ගනිමින් ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා එසේ නියෝග කර තිබේ.

මේ සම්බන්ධයෙන් වැඩිදුර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරමින් අනුරාධපුර මූලස්ථාන පොලීසියේ නඩු කටයුතු මෙහෙයුම් අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එච්.එම් යසරත්න මහතා සඳහන් කර ඇත්තේ, වෙඩි තබා ඝාතනය කෙරුණු “එස්.එෆ්.ලොක්කා“ ජීවතුන් අතර සිටිය දී හෙරොයින් ඇතුළු විෂ මත්ද්‍රව්‍ය ජාවාරමේ නියැලී සිට ඇති බවට පොලිස් විමර්ශන කණ්ඩායම්වලට තොරතුරු ලැබෙමින් පවතින බවයි.

ඒ අනුව “එස්.එෆ්.ලොක්කා“ ඔහුගේ පියා වන ආර්.ඒ අනුර, මව වන ජේ. එලිසබෙත් රාණි, සහෝදරයෙකු වන ආර්.ඒ අසිත රණසිංහ, සහෝදරියක වන ආර්.ඒ අනෝජා රණසිංහ, පෙම්වතිය බව පැවසෙන තිලිණි නදීෂා වීරසිංහ සහ ඥාතීන් වන සුතාරා චේතුමාලි චන්ද්‍රසිරි, ජේ.එම් මනෝජ් රංගන අමරසේකර,  එම්.ඒ ධනංජය මල්ලවාරච්චි සහ  ඩී.එච්.ඩබ් චමින්ද කුමාර යන අයගේ බැංකු ගිණුම් පිළිබඳ වාර්තාවක් අධිරණය විසින් ඉල්ලා තිබේ.

පසුගිය අගෝස්තු 5 වන දා උදෑසන 11.45ට පමණ අනුරාධපුර දහයියාගම ප්‍රදේශයේ දුම්රිය හරස් මාර්ගය ආසන්නයේ දී නාඳුනන තුවක්කුකරුවෙකු විසින් එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් “එස්.එෆ්.ලොක්කා“ ඝාතනයට ලක්විය.