දේශීය දියර කිරි අවශ්‍යතාව සපුරන්න ජනපතිගෙන් සැලැස්මක්

Share

දේශීය දියර කිරි අවශ්‍යතාව සපුරාලීමට රාජ්‍ය, පෞද්ගලික දෙඅංශයේ සහ කුඩා පරිමාණ ගොවීන්ගේ එකතුවෙන් කෙටි සහ දිගුකාලීන සැලැස්මක් දියත් කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.

 

තෘණ වගාව, කිරි ගවයන් බෝ කිරීම සහ පර්යේෂණ ආයතන සේවා වැඩිදියුණු කොට කඩිනමින් ඉලක්ක සාර්ථක කර ගැනීමේ අවශ්‍යතාව ජනාධිපතිතුමා පෙන්වා දෙයි.

පශු සම්පත්, ගොවිපොළ ප්‍රවර්ධන හා කිරි හා බිත්තර ආශ්‍රිත කර්මාන්ත පිළිබඳ රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබඳව ඊයේ(14) දහවල් ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේ දී ජනාධිපතිතුමා මේ බව පැවසීය.

මෙරට වාර්ෂික කිරි අවශ්‍යතාවෙන් දේශීයව නිෂ්පාදනය කරනු ලබන්නේ 40%කට අඩු ප්‍රමාණයකි.

පෝෂ්‍යදායක නැවුම් දියර කිරි පානය සඳහා ඇති අවස්ථාව මේ නිසා ජනතාවට අහිමි වී තිබේ.

ඉදිරි දශකය තුළ දියර කිරි නිෂ්පාදනය නැංවීමට පියවර ගන්නා බව “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් ජනාධිපතිතුමා ප්‍රතිඥා දී තිබේ.

රටේ විවිධ ප්‍රදේශවලට ගැළපෙන කිරි ගව ප්‍රභේද හඳුන්වාදීමට අවශ්‍ය පර්යේෂණ පුළුල් කිරීමට රජය අපේක්ෂා කරයි.

කිරි නිෂ්පාදනය නැංවීම සඳහා ඉහළ ගුණාත්මක අගයෙන් යුත් තෘණ වර්ග වගා කිරීම සහ ගව ආහාර නිෂ්පාදනය පිළිබඳව දීර්ඝව සාකච්ඡාවට ලක් කෙරිණ.

සමස්ත දියර කිරි නිෂ්පාදනයෙන් 85%ක් කුඩා පරිමාණ කිරි ගොවීන් විසින් සපයනු ලැබේ.

Read more

Local News