2012 බන්ධනාගාර කැරැල්ලට තලතා නොකී දෙයක්

ඊයේ(14) දිනයේ හිටපු අධිකරණ ඇමැතිනි පාර්ලිමේන්තු මන්ත්‍රී තලතා අතුකෝරල මහත්මිය දේශපාලන පළිගැනීම් පිළිබඳ විමර්ශනය කිරීමේ ජනාධිපති කොමිසම හමුවට පැම්ණියේය.

 

2012 වසරේ සිදු වූ බන්ධනාගාර කැරැල්ලට හිටපු ආරක්ෂක ලේකම්, වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පටලැවීමට ක්‍රියාකරන්නැයි කිසි දිනක පවසා නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී තලතා අතුකෝරල මහත්මිය දේශපාලන පළිගැනීම් පිළිබඳ විමර්ශනය කිරීමේ ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි දෙමින් පැවසුවාය.

අධිකරණ ඇමැතිනියව සිටි සමයේදී කිසිදු නඩු කටයුත්තක් සම්බන්ධයෙන් ඇඟිලි ගැසීමක් කර නොමැති බවත්, අතුකෝරල මහත්මිය සඳහන් කළාය.

බොරු සාක්ෂි මත නඩු පවරමින් දේශපාලන පළිගැනීමක් කර ඇති බවට හිටපු බන්ධනාගාර කොමසාරිස් එමිල් රංජන් ළමාහේවා මහතා පැවරූ පැමිණිල්ලේ වගඋත්තරකාරියක ලෙස සාක්ෂි දෙමින් හිටපු ඇමැතිනිය එසේ පැවසුවාය.

දේශපාලන පළිගැනීම පිළිබඳ සොයා බැලීමේ ජනාධිපති කොමිසමේ සභාපති හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න, හිටපු අභියාචනාධිකරණ විනිසුරු චන්ද්‍රසිරි ජයතිලක හා හිටපු පොලිස්පති චන්ද්‍රා ප්‍රනාන්දු මහත්වරු ඉදිරියේ සාක්ෂි මෙහෙයවිය.

“මෙම පැමිණිලිකාර එමිල් රංජන් මහතා මාව දිනක් හමුවීමට පැමිණියා. ඇප ලබා ගත් පසු වැඩ තහනම ඉවත් කරන්න කියලා ඉල්ලීමක් කළා. මා එම කරුණ පිළිබඳව සොයා බැලීමට විෂයභාර අමාත්‍යාංශ ලේකම්වරයාට යොමු කළා. අමාත්‍යාංශ ලේකම්වරයාට මා කිසිදු බලපෑමක් ඒ සම්බන්ධයෙන් කර නැහැ” යනුවෙන් හිටපු අධිකරණ ඇමැතිනි නීතිඥ තලතා අතුකෝරල මහත්මිය සාක්ෂි දෙමින් පැවසුවාය.

Exit mobile version