ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පළමු විස්සයි20 තරඟය අද – එක්වන්න සියත සමඟ

Share

දිනේෂ් චන්දිමාල්ගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර ජාත්‍යන්තර විස්සයි20 තරගාවලියේ පළමු තරඟය අද (15) ඩකා අගනුවර මීර්පූර්හි ෂෙරී බංග්ලා ජාතික ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි.

මෙම තරගාවලියේ ද මෙරට නිල විකාශන අයිතිය ලබා සිටින්නේ Voice of Asia Network මාධ්‍ය ජාලයේ සියත අප විසිනි. ඒ අනුව තරඟයේ පන්දුවෙන් පන්දුවට සජිවී අත්දැකීම ලබා ගැනීමට සියත ටිවී සමඟින් අද සවස 04.30 සිට  එක්වන්න.

කුසල් ජනිත් පෙරේරා පාදයේ ආබාධයකට ලක්ව සිටින බැවින් ඔහු වෙනුවට කුසල් මෙන්ඩිස් ක්‍රීඩා කරනු ඇත. ජීවන් මෙන්ඩිස් ද කලකට පසුව ශ්‍රී ලංකා සංචිතයට එක්ව සිටී.

තරග දෙකකින් සමන්විත විස්සයි20 තරගමාලාවේ අද පැවැත්වෙන පළමු තරගයේදී මහ්මුදුල්ලා බංග්ලාදේශ කණ්ඩායම මෙහෙයවයි. වමතින් දඟ පන්දු යවන නවක ක්‍රීඩක නස්මුල් ඉස්ලාම්, ෂකිබ් වෙනුවට සංචිතයට ඇතුළත්ව සිටී. ටමිම් ඉක්බාල් හා මුස්ටෆිසුර් රහ්මාන් ද යළි සංචිතයට කැඳවා තිබේ.

ජගත් ක්‍රිකට් කවුන්සලයේ නවතම විස්සයි20 ශ්‍රේණිගත කිරීම්වලට අනුව ශ්‍රී ලංකාව සිටින්නේ 8 වැනි ස්ථානයේය. බංග්ලාදේශය 10 වැනි ස්ථානයට පත්ව සිටී. දෙපිල අතර අද පැවැත්වෙන්නේ 8 වැනි විස්සයි20 තරගයයි. මීට පෙර පැවැති තරගවලදී ශ්‍රී ලංකාව ජයග්‍රහණ 5ක් වාර්තා කර ඇති අතර බංග්ලාදේශය තරග 2කින් ජය ගෙන තිබේ.

ශ්‍රී ලංකා විස්සයි20 සංචිතය : දිනේෂ් චන්දිමාල් (නායක), උපුල් තරංග, ධනුෂ්ක ගුණතිලක, කුසල් මෙන්ඩිස්, තිසර පෙරේරා, අසේල ගුණරත්න, නිරෝෂන් දික්වැල්ල, දසුන් ශානක, ඉසුරු උදාන, ෂෙහාන් මධුසංඛ, ජෙෆ්රි වැන්ඩසේ, අකිල ධනංජය, අමිල අපෝන්සු, ජීවන් මෙන්ඩිස්, අසිත ප්‍රනාන්දු.

බංග්ලාදේශ සංචිතය: මහ්මුදුල්ලා (නායක), ටමිම් ඉක්බාල්, සොඋම්යා සර්කාර්, මුෂ්ෆිකුර් රහිම්, සබිර් රහ්මාන්, මුස්ටෆිසුර් රහ්මාන්, රුබල් හුසේන්, මොහමඩ් සයිෆුඩින්, අබු හිදර්, අබු ජයිඩ්, අරිෆුල් හොක්, මෙහෙදි හසන්, සකිර් හසන්, අෆිෆ් හුසේන්, නස්මුල් ඉස්ලාම්.

Read more

Local News