එළවළු හා පළතුරු මිල පාලනයට වහාම පියවර ගන්නැයි ජනපතිගෙන් උපදෙස්

Share

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හරහා ක්‍රියාත්මක යාන්ත්‍රණයක් ඔස්සේ ගොවියාගෙන් මිලට ගන්නා නිෂ්පාදන වෙළෙඳුන්ට ලබාදීමට සැලසුම්කර ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

 

අසාධාරණ ලෙස එළවළු හා පළතුරු මිල ඉහළ යාම පාලනයට වහාම පියවර ගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කෘෂිකර්ම අමාත්‍යාංශය ඇතුළු ඊට සම්බන්ධ සියලු ආයතනවලට උපදෙස් ලබා දී ඇත.

මේ පිළිබඳව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ දී වෙළෙඳ අංශ සමඟ විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ.

ගොවිජන සේවා මධ්‍යස්ථානවලින් මිලට ගන්නා නිෂ්පාදන රජය මඟින් සුරක්ෂිත ඇසුරුම්වල බහා අදාළ ආර්ථික මධ්‍යස්ථානවල වෙළෙඳුන්ට සාධාරණ මිලට අලෙවි කිරීමට ලබාදීමට මෙහිදී එකඟතාව පළවු බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

එම වෙළඳුන් ඉතා සාධාරණ මිල පරතරයක් සහිතව පාරිභෝගිකයාට අදාළ නිෂ්පාදන අලෙවි කළයුතු අතර ඊට අදාළ මිල ගණන් ප්‍රදර්ශනය කිරීම අනිවාර්යය වෙයි.

එමෙන්ම ප්‍රධාන සහල් නිෂ්පාදකයන්, ධීවර සංස්ථාව, මස් හා බිත්තර වෙළෙඳුන් ද ආර්ථික මධ්‍යස්ථානවලට යෙදවීමට තීරණය කරඇති අතර පාලන මිලට එම වෙළෙඳාම් සිදුකිරීමට අදාළ චක්‍රලේඛ නිකුත්කොට මිල ගණන් ප්‍රදර්ශනය කිරීමට ද සැලසුම් කර තිබේ.

Read more

Local News