පළාත් සභා ඡන්ද විමසීම සඳහා වූ සීමා නිර්ණ කමිටු වාර්තාව අමාත්‍ය ෆයිසර් මුස්තාෆාට භාරදෙයි

Share

2017 අංක 17 දරන පළාත් සභා ඡන්ද විමසීම (සංශෝධන) පනත පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තෆා අමාත්‍යතුමා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අතර එමගින් නව මිශ්‍ර ඡන්ද ක්‍රමයක් (කේවල ඡන්ද ක්‍රමය/ සරල බහුතර ක්‍රමය හා සමානුපාතික නියෝජනය) හදුන්වා දෙන ලදි.
මෙහි දී මැතිවරණ දිස්ත්‍රික්කයක් සඳහා සරල බහුතර ක්‍රමය අනුව 50% නියෝජිතයන් පත්කරගත යුතු වන අතර තවත් 50%ක් දිස්ත්‍රික් මට්ටමේ සමානුපාතික නියෝජන ක්‍රමය (අතිරේක ලැයිස්තුව) අනුව තෝරාපත් කර ගත යුතුය. අදාල පනත අනුව ජනාධිපතිතුමා විසින් පස් දෙනෙකුගෙන් සමන්විත සීමා නිර්ණය කමිටුවක් පත් කරන ලදි. මැතිවරණ කොට්ඨාසවල සීමාවන් නිර්ණය කිරීම සඳහා බලය ඊට පැවරූ අතර පත් කළ දින සිට මාස හතරක් ඇතුළත වාර්තාව ඉදිරිපත් කළ යුතු විය.
ඉහත කමිටුව මගින් පිළියෙල කරන ලද පළාත් සභා ඡන්ද විමසීම සඳහා වූ සීමා නිර්ණ කමිටු වාර්තාව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තෆා මහතා වෙත භාරදීම අද (19) පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ දී සිදු කෙරිණි. මෙහි දී කමිටුව විසින් ඉදිරිපත් කළ වාර්තාවේ අඩංගු කරුණු දීර්ඝව සාකච්ඡා කළ අතර මීට ඉහතදී අමාත්‍යතුමා විසින් යෝජනා කරන ලද ඉහත වාර්තාව සම්බන්ධයෙන් වූ සර්ව පාක්ෂික සමුළුව ගැන අදහස් දැක් වූ අමාත්‍යවරයා කියා සිටියේ තම අදහස වූයේ මෙම වාර්තාව මුද්‍රණයට ප්‍රථම සර්ව පාක්ෂික සමුළුවක් කැදවා පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂ හා පාර්ලිමේන්තුව නියෝජනය නොකරන සියළු දේශපාලන පක්ෂ වල අදහස් ලබා ගැනීමත් ඒ තුලින් වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ විට සිදුවිය හැකි සංශෝධන අවමකර ගැනීමත් බවයි.
සීමා නිර්ණය කමිටුව මාස 04 ක් වැනි සුළු කාලයකදී සිදුකළ කාර්ය ඉතා අගය කළ අමාත්‍යවරයා ඉදිරි සති දෙක තුලදී මෙම වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව වැඩිදුරටත් සඳහන් කළේය.

Read more

Local News