දියගම ක්‍රීඩා ඇකඩමියක් හා අන්තර්ජාතික ක්‍රීඩාංගණයක් ලෙස සංවර්ධනය කිරීමේ කටයුතු ආරම්භ වෙයි

Share

දියගම ජාත්‍යන්තර ක්‍රීඩා සංකීර්ණය ක්‍රීඩා ඇකඩමියක් හා අන්තර්ජාතික ක්‍රීඩාංගණයක් ලෙස සංවර්ධනය කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කොට ඇත.
මෙම ව්‍යාපෘතිය සඳහා 2017 වසරේ දී රුපියල් මිලියන 500ක ප්‍රතිපාදන වෙන් කොට ඇත. මෙම ව්‍යාපෘතිය අධ්‍යාපන අමාත්‍යංශය හා ක්‍රීඩා අමාත්‍යංශය සමඟ ඒකාබද්ධ වැඩසටහනක් ලෙස ක්‍රියාත්මක කෙරේ.
මෙම ක්‍රීඩාංගණය දැනටමත් මීටර් 400 ධාවන පථයක්, බේස් බෝල් පිටියක්, රගර් පිටියක් හා අඩක් නිමකළ මීටර් 50 පිහිණුම් තටාකයක් හා ගෘහස්ථ ක්‍රීඩාගාරයකින්ද සමන්විත වන අතර මෙය අංගසම්පූර්ණ ගෘහස්ථ ක්‍රීඩාංගණයක්, පිහිණුම් තටාකයක්, මීටර් 400 ධාවන පථයක්, මීටර් 200 පුහුණු ධාවන පථයක් ඇතුළු ජාත්‍යන්තර පහසුකම්වලින් සමන්විත ක්‍රීඩා ඇකඩමියක් ලෙස සංවර්ධනය කෙරෙනු ඇත.
එමෙන් ම ක්‍රීඩාගාර, දේශන ශාලා, සම්මන්ත්‍රණ ශාලා, පරිපාලන ගොඩනැගිලි හා නිල නිවාස, ක්‍රීඩකයින් හා පුහුණුකරුවන් සඳහා නේවාසිකාගාර ඉදිකිරීමට ද නියමිතය. එයට අමතර ව ක්‍රීඩා වෛද්‍ය ඒකකය, ක්‍රීඩා විද්‍යායතනය, ක්‍රීඩා පර්යේෂණ අංශයක්, ක්‍රීඩාව හා අධ්‍යාපනය සමබරව පවත්වාගෙන යා හැකි පරිදි ක්‍රීඩා විද්‍යාලයක්ද ස්ථාපනය කිරීමට සැලසුම් කොට ඇත.
වර්තමානයේ දී ක්‍රීඩාව සඳහා විධිමත් විද්‍යාත්මක ප්‍රවේශයක් පාසල් පද්ධතිය තුළත්, ක්‍රීඩා ක්ෂේත්‍රය තුළත් ක්‍රියාත්මක නොවේ. එබැවින් ක්‍රීඩා ක්ෂේත්‍රය විධිමත් පරිදි ක්‍රියාත්මක කිරීම තුළින් ශාරීරික වර්ධනය, මානසික වර්ධනය, සමාජීය වර්ධනය හා සදාචාර සංවර්ධනයක් සහිත සමබර පෞරුෂයකින් යුතු පුරවැසියෙකු සමාජයට දායාද කිරීමේ අරමුණින් ක්‍රියාත්මක කෙරේ.

Read more

Local News