හිටපු අගමැති රනිල් ඉන්දීය විදෙස් ඇමතිගෙන් කළ ඉල්ලීම

Share

ශ්‍රි ලංකාවේ පැතිර යන කොවීඩ් වසංගතය පාලනය කිරීම සඳහා ඉන්දියාවේ තිබෙන එන්නත ශ්‍රි ලංකීය ජනතාවගේ යහපත වෙනුවෙන් හැකි ඉක්මනින් ලබා දීමට පියවර ගන්නා ලෙස එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජයශංකර් මහතාගෙන් අද ඉල්ලීමක් කළේය.

කොවිඩ් වසංගතය හමුවේ කලාපයේ සියලු රටවල් දැඩි අර්බුදයකට මුහුණ පාමින් සිටින මේ අවස්ථාවේ ඉන්දියාව සහ  ලංකාව ආර්ථික වශයෙන් දැඩි සමීපතාවයකින් කටයුතු කිරීම අවශ්‍යව ඇතැයිද හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දීය විදේශ කටයුතු අමාතයවරයා වෙත වැඩිදුරටත් දැනුම් දුන්නේය.

එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මේ කරුණු සඳහන් කළේ දිවයිනට පැමිණ සිටින ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා ඉන්දීය නිල නිවසේ දී අද පෙරවරුවේ හමුවූ අවස්ථාවේදීය.

ශ්‍රි ලංකාවේ දෙදින නිල සංචාරයක නිරත වූ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා රාජ්‍ය තාන්ත්රික ධුරාවලියෙන් බැහැරව එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හමුවීම විශේෂත්වයක් බව කොළඹ තානාපති ආරංචිමාර්ග සඳහන් කළේය.

දෙදින නිල සංචාරය නිම කර ශ්රී ලංකාවෙන් පිටව යාමට පෙර ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා අවසන් හමුව ලෙස එජාප නායක හිටපු අග්රාමාත්ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවීම විශේෂත්වයකි. කොවීඩ් වසංගතය හේතුවෙන් දෙරට මුහුණ දෙන අභියෝග පිළිබඳ හිටපු අගමැති රනිල් වික්රමසිංහ මහතා ඉන්දීය විදේශ ඇමති සමග දීර්ඝ වශයෙන් අදහස් හුවමාරු කර ගනු ලැබීය.

කොවීඩ් මර්ධන එන්නත ශ්‍රි ලංකාවට දීම සම්බන්ධයෙන් මේ වනවිටත් රජය සමඟ සාකච්ඡා ආරම්භ කර ඇති බව ඉන්දීය විදේශ කටයුතු අමාත්යවරයා රනිල් වික්රමසිංහ මහතා හමුවේ පැවසීය.

ඉහත ප්‍රවණතාව ඉහළින්ම අගය කළ හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මේ අසීරු කාල සීමාවේ ඉන්දියාව හා ලංකාව සමීපව කටයුතු කිරීමේ අවශ්‍යතාවයද පෙන්වා දුන්නේය

Read more

Local News