ඉරුදින ප්‍රහාරයට සම්බන්ධ ලාංකිකයින් තිදෙනෙකුට අමෙරිකාවෙන් නඩු

ත්‍රස්තවාදී චෝදනා මත අප්‍රේල් 21 ප්‍රහාරයට සම්බන්ධ ලාංකිකයින් 03 දෙනෙකුට අමෙරිකාව නඩු පවරා ඇති බව අමෙරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව පවසයි.

 

අමෙරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත්කරමින් පෙන්වාදෙන්නේ අදාළ සැකකරුවන් තිදෙනා අයි.එස්.අයි.එස් සංවිධානයේ ආධාරකරුවන් බවය.

2019 වර්ෂයේ අප්‍රේල් 21 වන දා සිදුවූ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අදාළ සැකකරුවන් තිදෙනා ශ්‍රී ලංකා ආරක්ෂක අංශ භාරයේ පසුවෙති.

අදාළ ප්‍රහාරයෙන් අමෙරිකානු ජාතිකයින් 5 දෙනෙකු ඇතුළුව පුද්ගලයින් 268 දෙනෙකු මියගිය බවත්, අයි.එස්.අයි.එස් සංවිධානය විසින් එම ප්‍රහාරය සිදුකර ඇති බවට තොරතුරු ලැබී ඇති බවත් අමෙරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.

මොහොමඩ් නවුෆර්, මොහොමඩ් අන්වර් මොහොමඩ් රිස්කාන් සහ අහමඩ් මිල්හාන් හයිදු මොහොමඩ් යන තිදෙනාට එරෙහිව අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් ෆෙඩරල් අධිකරණය හමුවේ නඩු පවරා තිබේ.

ඔවුන් විසින් ශ්‍රී ලංකාවේ එල්ල වූ පාස්කු ප්‍රහාරය සැලසුම් කිරීම, ආධාර අනුබල දීම සහ ආයුධ ලබාදීම සිදුකර ඇති බව අමෙරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව පෙන්වා දී ඇත.

ලෝකයේ ඕනෑම රටක සිටින අමෙරිකානුවන් ඉළක්ක කර ගනිමින් සිදුකරන ත්‍රස්ත ප්‍රහාරවලට අදාළව යුක්තිය ඉටු කිරීම සඳහා එම නඩු පැවරීම සිදුකරඇති බව අමෙරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.