මෙරට ආර්ථිකයේ සන්ධිස්ථානයක් ගැන අගමැති කියයි

Share

රත්නපුරේ ජනතාව දශක කිහිපයක් බලා සිටි මැණික් කුලුනක් ඉදිවීමේ සිහිනය යථාර්ථයක් වන බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

 

ඉදිරි වසර 4ක කාලය තුළ මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍රයෙන් අමෙරිකානු ඩොලර් බිලියන 5ක විදේශ විනිමයක් මෙරටට ලැබෙනු ඇතැයි ඒ මහතා විශ්වාසය පළ කළේය.

රත්නපුර, දෙමුවාවත මහින්ද රාජපක්ෂ අන්තර්ජාතික මැණික් කුලුනට මුල්ගල් තැබීම නිමිත්තෙන් අන්තර්ජාල වීඩියෝ තාක්ෂණය ඔස්සේ සුබ පැතුම් එක්කළ අගමැති මහින්ද රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළේය. ඒ අනුව ඉදිරි වසර 4ක කාලය තුළ මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍රයෙන් අමෙරිකානු ඩොලර් බිලියන 5ක විදේශ විනිමය ලැබෙනු ඇතැයි රජය අපේක්ෂා කරන බවද අගමැතිවරයා පෙන්වා දුන්නේය.

රත්නපුර මහින්ද රාජපක්ෂ අන්තර්ජාතික මැණික් කුලුනට මුල්ගල් තැබීම කර්මාන්ත ඇමැති විමල් වීරවංශ, මැණික් හා ස්වර්ණාභරණ ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය ඇමැති ලොහාන් රත්වත්තේ, මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති තිලක් වීරසිංහ මහත්වරුන් ඇතුළු මැති අමැතිවරුන් රැසකගේ ප්‍රධානත්වයෙන් රත්නපුර දෙමුවාවත දී සිදු විය.

ඒ වෙනුවෙන් සුබ පැතුම් එක් කළ අගමැති මහින්ද රාජපක්ෂ මහතා- අපේ මාතෘ භූමිය අප හඳුන්වන්නේ රත්නදීපය කියායි. ඒ තරම් වටිනාකමක් ලෝකය හමුවේ මැණික් කර්මාන්තයෙන් අපට ලැබෙනවා. මේ කර්මාන්තය අද ඊයේ ඇති වූවක් නොවෙයි. ශතවර්ෂ ගණනාවක් අපේ මුතුන් මිත්තන් මේ පොළොවෙන් මතුවන මැණික්වල වටිනාකම් රටට දායාද කළා. ලොව දියුණවත් සමඟ මේ කර්මාන්තයත් ඉදිරියට ගියා. ශ්‍රී ලංකාව පමණක් නෙවෙයි ලොව බොහෝ රටවල් තරගකාරීව මැණික් කර්මාන්තයට ප්‍රවිශ්ට වුණා. හැබැයි අපේ රටට ඇතැම් කාල වකවානුවල ඒ සඳහා අවධානයක් යොමු කළේ නැහැ.

එහි ප්‍රතිඵලයක් ලෙස මැණික් කර්මාන්තයේ නියැලෙන ව්‍යාපාරිකයන් මෙන්ම සේවකයන් විවිධ දුෂ්කරතාවලට මුහුණ පෑවා. ඔවුන්ගේ පවුල්වල දරුවන්ටත් එහි බලපෑම් එල්ල වුණා. රජයක් විදියට අප සෑම අවස්ථාවකම මැණික් කර්මාන්තකරුවා රැක ගැනීමට වෙහෙසී තියෙනවා. මැණික්වල වටිනාකම රටේ වටිනාකමට යා කරගැනීමට විවිධ ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා. රත්නපුරේ ඔබට මැණික් ගැන අමුතුවෙන් කිවයුතු නැහැ. සබරගමුව වගේම තවත් පළාත් කිහිපයක සිදුවන මෙම මැණික් කර්මාන්තයට වෙනදාට වැඩි අවධානයක් අප යොමු කරනවා.

සෞභාග්‍යයේ දැක්ම යටතේ රත්නපුරට මැණික් කුලුනක් ඉදිවීම අද පටන් යථාර්ථයක් වන බව මා ඔබට ප්‍රකාශ කරන්න කැමතියි. එය ඔබ දශක ගණනාවක් බලා සිටි සිහිනයක් සැබෑ වීමක්. අද ඉදිවන මෙම අති නවීන මැණික් කුලුනේ ස්වර්ණාභරන අධිකාරියේ කාර්යාල සංකීර්ණයක්, වෙළෙඳ සංකීර්ණයක්, බැංකු පද්ධතියක්, අධි ආරක්ෂණ පද්ධතියක් මෙන්ම ඔබට අවශ්‍ය වාහන නැවැත්වීමේ අංගනයක් ද ඉදි වනවා.

අපේ මෙම උත්සාහය මල්ඵල දරන විට, ඉදිරි වසර 4ක කාලය තුළ මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍රයෙන් අමෙරිකානු ඩොලර් බිලියන 5ක විදේශ විනිමය ලැබෙනු ඇතැයි අප විශ්වාස කරනවා. මෙම කටයුත්ත සාර්ථක කරගැනීමට වෙහෙසෙන කර්මාන්ත ඇමැතිතුමාටත්, මැණික් හා ස්වර්ණාභරණ ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය ඇමැතිතුමාටත් ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියටත් මාගේ සුභාශිංසනය පිරිනමනවා.

සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රාදේවි වන්නිආරච්චි, රාජ්‍ය ඇමැති ජානක වක්කුඹුර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජෝන් සෙනවිරත්න, ගාමිණී වලේබොඩ, සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව, මැණික් හා ස්වර්ණාභරණ ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් එස්.එම්. පියතිස්ස මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

Read more

Local News