සංචාරක කර්මාන්තයෙන් ඇමරිකානු ඩොලර් බිලියනයක ආදායමක් ඉපයීමේ සැලසුමක්

Share

මෙම වසර තුළ ඇමරිකානු ඩොලර් බිලියනයක ආදායමක් සංචාරක කර්මාන්තය තුළින් ඉපයීමට අවශ්‍ය සැළසුම් සකස්කර ක්‍රියාත්මක කරන්නැයි ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධීපති කාර්ය සාධන බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා සංචාරක ක්ෂේත්‍රයේ නිලධාරීන්ට උපදෙස් දී තිබේ.

 

ජාතික ආර්ථිකය ගොඩනැංවීම සඳහා අපනයන ක්ෂේත්‍රයෙන් උපයන මුදල් පමණක් ප්‍රමාණවත් නොවන බව පෙන්වා දුන් ඒ මහතා සඳහන් කර සිටියේ ජාතික ආර්ථීකය ගොඩනැගීම සඳහා සංචාරක ක්ෂේත්‍රයේ සහය අත්‍යාවශ්‍ය බවයි.

අරලියගහ මන්දිරයේ පසුගියදා පැවති සංචාරක ක්ෂේත්‍රයේ සංවර්ධනය පිළිබඳ සාකච්ඡාවට එක්වෙමින් බැසිල් රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළේය.

කොවිඩ් 19 වෛරසය පැතිරීමත් සමඟ සමස්ථ සංචාරක ක්ෂේත්‍රය කඩා වැටුණු අතර නව සාමාන්‍ය තත්ත්වය යටතේ රටවල් බොහෝමයක් නැවතත් තම රටවල සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමේ තරඟයක නිරත වී සිටින බවද බැසිල් රාජපක්ෂ මහතා මෙහිදී පෙන්වා දුන්නේය.

සංචාරය සඳහා ආරක්ෂිත සහ සුදුසු රටවල් අතර විදේශ සංචාරකයින්ගේ පළමු තොරාගැනීම් රටවල් දහය තුළ ශ්‍රී ලංකාව සිටින අතර සංචාරකයින් ආකර්ෂණය කරගැනීම සඳහා නව සැළසුම් දියත් කරන ලෙසද ඒ මහතා ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධීකාරියට උපදෙස් ලබාදුන්නේය.

එමෙන්ම සංචාරක කර්මාන්තය හා බැඳුණු සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා සහාය වීම සම්බන්දයෙන්ද මෙම සාකච්ඡාවේදි අවධානය යොමු කෙරිණි.

‘ගම සමඟ පිළිසඳරක් තුළින් වැඩ සමඟ යළි ගමට’ වැඩසටහන හරහා ගමේ ආර්ථිකය ශක්තිමත් කිරීමට මෙන්ම ගම සංවර්ධනය කිරීමටද රජය කටයුතු කරන බව පෙන්වා දුන් ඒ මහතා මේ තුළින් සෑම ගමකටම සංචාරක ව්‍යාපාරය හරහා මුදල් ගලායාමේ ක්‍රමවේදයක් සකස් කරන බවද කියා සිටියේය.

මෙම සාකච්ඡාව සඳහා අමාත්‍ය ප්‍රසන්න රණතුංග,රාජ්‍ය අමාත්‍යවරුන් වන ඩී.වී.චානක, සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්ම මහත්මීන් ඇතුළු රාජ්‍ය නිලධාරින් පිරිසක් සහභාගි වූහ.

Read more

Local News