නාවික හමුදාව සාගරික පරිසර පද්ධති සුරැකීමට දායක වෙමින් කඩොලාන පැළ ලක්ෂයක් රෝපණය කිරීමේ කඩයිම පසු කරයි

Share

ශ්‍රී ලංකාවේ සාගරික සහ ගොඩබිම් පරිසර පද්ධතීන් සුරැකීම සදහා සුවිශේෂී දායකත්වයක් ලබා දෙනු ලබන ශ්‍රී ලංකා නාවික හමුදාව, කඩොලාන පරිසර පද්ධති ව්‍යාප්ත කිරීමේ වැඩසටහන යටතේ මේ වන විට ‍කඩොලාන පැළ ලක්ෂයක් රෝපණය කිරීමේ කඩයිම පසු කිරීමට සමත් වී ඇති බව නාවික හමුදාව කියයි.

මෙම කර්තව්‍ය සඳහා නාවික හමුදා සාගරික හා පරිසර හිතකාමී ව්‍යාපෘති කමිටුව සහ සාගරික සංරක්‍ෂණ අධීක්‍ෂණ ඒකකය මූලිකත්වය ගෙන කටයුතු කරනු ලබයි.

එමෙන්ම පරිසර සුරැකීමේ රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන සමඟ ද සමීපව කටයුතු කරන නාවික හමුදාව මේ වන විට දිවයිනේ බොහෝ පරිසර සංරක්‍ෂණ ව්‍යාපෘතීන් රැසකට සිය දායකත්වය ලබා දී ඇත.

පසුගිය වසර 2 ක පමණ කාලය තුළදී සුළු ධීවර සම්මේලන සමග එක්ව නාවික හමුදාව විසින් සමස්ථ දිවයින ආවරණය වන පරිදි මෙම කඩොලාන පැළ ලක්ෂයකට අධික ප්‍රමාණය රෝපණය කිරීමට කටයුතු කර ඇත.

ඒ අනුව ගිණිකොන නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා මහානාග ආයතනයට අනුයුක්ත නිලධාරීන් සහ නාවිකයන් විසින් පසුගිය පෙබරවාරි මස වන දින 21 දින පානම කළපුවේ කඩොලාන පැළ 700 ක් වගා කිරීමත් සමඟම පැළ ලක්ෂයේ කඩයිම පසු කරන ලදී.

එම අවස්ථාව සඳහා ගිණිකොන නාවික විධානය භාර නියෝජ්‍ය ආඥාපති, කොමදෝරු කලණ ජිනදාස මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ද සහභාගී වී සිටියහ.

Read more

Local News