රවී සහ ඇලෝසියස්ට එරෙහි අල්ලස් නඩුව අප්‍රේල් 01වැනිදා කැඳවයි

Share

හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක සහ පර්පචුවෙල් ට්‍රෙෂරිස් සමාගමේ අර්ජුන් ඇලෝසියස් යන අයට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර ඇති නඩුව අප්‍රේල් මස පළමු වනදා(01) කැඳවීමට කොළඹ මහාධිකරණය නියමකර තිබේ.

 

මෙම නඩුවට අදාළ අධිචෝදනා පත්‍ර ඉකුත්දා විත්තිකරුවන්ට භාරදීමෙන් පසුව ඔවුන්ට නියම කරන ලද ඇපයට අදාළ කොන්දේසි සපුරා තිබේදැයි පරීක්ෂා කිරීම සඳහා එය අද (12) කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.

ඒ අනුව ඇප කොන්දේසිවලට අදාළ ලේඛන කාර්යාලයට භාරදෙන ලෙස අධිකරණය හමුවේ පෙනීසිටි රවී කරුණානායක සහ අර්ජුන් ඇලෝසියස් යන විත්තිකරුවන්ට නියම කළ විනිසුරුවරයා නඩුව නැවත අප්‍රේල් මස පළමුවනදා කැඳවන ලෙස නියෝග කළේය.

2016 වසරේ මුදල් අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් මෙම නඩුවේ දෙවන විත්තිකාර අර්ජුන් ඇලෝසියස් මහතා අධ්‍යක්ෂ ධුරයක් දරන වෝල්ට් සහ රෝ ඇසෝසියේට්ස් පෞද්ගලික සමාගමේ නමට ලබාගෙන තිබූ  “මොනාර්ක් නිවාස සංකීර්ණයේ” පිහිටි නිවසක පදිංචිව සිටීම තුළින් අල්ලස් පනත යටතේ වරදක් සිදුකර ඇති බවට චෝදනා කරමින් හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා වෙත එම අධිචෝදනා පත්‍ර තුළින් චෝදනා එල්ලකර තිබේ.

එම නිවස සඳහා විත්තිකාර අර්ජුන් ඇලෝසියස් මහතා අධ්‍යක්ෂ ධුරයේ කටයුතු කරන වෝල්ට් සහ රෝ ඇසෝසියේට්ස් පෞද්ගලික සමාගම සහ පර්පචුවල් කැපිටල් සමාගමේ චෙක්පත්වලින් රුපියල් මිලියන 11.68 ක මුදලක් ගෙවා ඇති බවද එම චෝදනාවල දැක්වේ.

Read more

Local News