‘හර්මටාන් – 3’ ක්ෂේත්‍ර පුහුණු අභ්‍යාසයේ ප්‍රගති සමාලෝචනය මින්නේරියේදී (ඡායාරූප)

Share

එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි යටතේ මාලි රාජ්‍යයේ ප්‍රවාහන රාජකාරි සඳහා පිටත්ව යන සංග්‍රාමික රථ ආරක්‍ෂක භට කණ්ඩයේ (Combat Convoy Company) භටපිරිස් වෙත ප්‍රායෝගික පුහුණුව ලබාදීමේ අරමුණින් පවත්වනු ලබන ‘හර්මටාන් -3’ ක්ෂේත්‍ර පුහුණු අභ්‍යාසය නිමාකරමින් අද (16) දින දහවල් වනවිට භටපිරිස් කිලෝමීටර් 457.2 ක දුරක් ගෙවා මින්නේරිය පාබල පුහුණු මධ්‍යස්ථානය වෙත පැමිණියහ.

 

යාපනය මයිලඩි ප්‍රදේශයෙන් ඉකුත් සිකුරාදා (12) දින ආරම්භ වූ මෙම ක්ෂේත්‍ර පුහුණු අභ්‍යාසය ගජබා රෙජිමේන්තුවේ මූලිකත්වය යටතේ සන්නාහ සන්නද්ධ බලකාය, ඉංජිනේරු රෙජිමේන්තුව , සංඥා බලකාය, යාන්ත්‍රික පාබල රෙජිමේන්තුව, ඉංජිනේරු සේවා බලකාය, යුද හමුදා සේවා බලකාය, යුද හමුදා වෛද්‍ය බලකාය, යුධෝපකරණ බලකාය, විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකාය, පොලිස් හේවා බලකාය, යුද හමුදා පොදු සේවා බලකාය නියෝජනයවන පරිදි නිලධාරීන් 20 ක් සහ සෙසු නිලයින් 223 කගේ සහභාගිත්වයෙන් අදියර පහක් යටතේ පැවැත්විණි.

‘හර්මටාන් – 3’ ක්ෂේත්‍ර පුහුණු අභ්‍යාසයේ අධ්‍යක්‍ෂ ලෙස 58 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් චම්පක රණසිංහ, 62 වන සේනාංකයේ සේනාංකාධිපති ක්ෂේත්‍ර පුහුණු අභ්‍යාසයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ මේජර් ජෙනරල් දීපාල් පුස්සැල්ල විසින් ක්ෂේත්‍ර පුහුණු අභ්‍යාසයේ ප්‍රායෝගික හා ලිඛිත අභ්‍යාස පිළිබඳ උපදෙස් ලබාදෙන ලදී.

එක්සත් ජාතීන්ගේ සාමසාධක රාජකාරි යටතේ මාලි රාජ්‍යයේ ගාවෝ ප්‍රදේශයේ දී සිදුකිරීම‌ට නියමිත අත්‍යවශ්‍ය භාණ්ඩ ප්‍රවාහනය කරන වාහන රැලි සඳහා ආරක්‍ෂාව සැපයීමේ ප්‍රවාහන රාජකාරි සඳහා පිටත්ව යාමට නියමිත ශ්‍රී ලංකා යුද්ධ හමුදා භටපිරිස් වෙත ප්‍රායෝගික පුහුණුවක් ලබාදීමේ අරමුණින් පැවැති මෙම ක්ෂේත්‍ර අභ්‍යාසයේදී යුද්ධ හමුදා භටපිරිස් විවිධ දුෂ්කරතා මධ්‍යයේ උපායශිලිව සිතියම් භාවිතා කරමින් සතුරු ඉලක්කයන් වෙත ලගාවෙමින් මෙම ප්‍රායෝගික පුහුණු අභ්‍යාසය සාර්ථකව සිදුකරනු ලබයි. මෙම අභ්‍යාසයේ පළමු අදියර මයිලඩි සිට කුවේනි හන්දිය දක්වාත්, දෙවන අදියර කුවේනි හන්දියේ සිට නයාරු දක්වාත්, තෙවන අදියර නයාරු සිට තාවුල් වැව දක්වාත්, සිව්වන අදියර තාවුල් වැව සිට කන්දකාඩු දක්වාත්, පස්වන අදියර කන්දකාඩු සිට මින්නේරිය පාබල පුහුණු මධ්‍යස්ථානය දක්වාත් පැවැත්විණි. මෙම ක්ෂේත්‍ර පුහුණු අභ්‍යාසයේදී 15 වන ඩ්‍රෝන රෙජිමේන්තුවේ ඩ්‍රෝන තාක්‍ෂණය භාවිතා කිරීමද සුවිශේෂිත්වයකි. අභ්‍යාසය සඳහා සන්නද්ධ රථ 06ක්, යුනි බෆල් රථ හයක්, භාණ්ඩ ප්‍රවාහන රථ 19 ක් ඇතුළුව යුද හමුදා රථ 47 ක් යොදා ගනු ලැබිණි.

එක්සත් ජාතින්ගේ සාම සාධක රාජකාරි යටතේ මාලි රාජ්‍යයේ ප්‍රවාහන රාජකාරි සඳහා පිටත්ව යාමට නියමිත භටපිරිස් වෙත ප්‍රායෝගික පුහුණුව ලබාදීමේ අරමුණින් ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ උපදෙස් මත යුද්ධ හමුදා මුලස්ථානයේ අධ්‍යක්‍ෂ ජෙනරල් ප්‍රධාන මාණ්ඩලික මේජර් ජෙනරල් ප්‍රියංක ප්‍රනාන්දු ගේ මඟපෙන්වීම යටතේ පැවැති මෙම ක්ෂේත්‍ර පුහුණු අභ්‍යාසය සාර්ථකව දියත් කෙරිණි.

 

Read more

Local News