ජනතාවට අවශ්‍ය සංවර්ධන වැඩපිළිවෙළ නිවැරදිව සහ විනිවිදභාවයෙන් යුතුව ඉදිරියට කි‍්‍රයාත්මක කරනවා – ජනපති

Share

ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා ඊයේ (1) පෙරවරුවේ පොළොන්නරුව, ගිරිතලේ ජනපදය කනිෂ්ඨ විද්‍යාලයේ නව පන්ති කාමර ගොඩනැගිල්ල සිසු අයිතියට පවරාදීමේ අවස්ථාවට එක්වෙමින් ප්‍රකාශ කළේ,

වංචාවට, දූෂණයට එරෙහි තම ප‍්‍රතිපත්තියේ කිසිදු වෙනසක් නොමැති අතර, ජනතාවට අවශ්‍ය සංවර්ධන වැඩපිළිවෙළ අක‍්‍රමිකතාවයෙන් තොරව, නිවැරදිව සහ විනිවිදභාවයෙන් යුතුව ඉදිරියට කි‍්‍රයාත්මක කිරීමට අවශ්‍ය වැඩපිළිවෙළ සකසන බවයි.

“පිබිදෙමු පොළොන්නරුව“ දිස්ති‍්‍රක් සංවර්ධන වැඩසටහන යටතේ රුපියල් මිලියන 6 ක් වැය කරමින් මෙම නව පංති කාමර ගොඩනැගිල්ල ඉදිකර තිබේ.

විද්‍යාලය වෙත පැමිණි ජනාධිපතිතුමා එම සිසු දරුවන් විසින් මහත් සෙනෙහසින් යුතුව පිළිගත් අතර, සමරු ඵලකය නිරාවරණය කර නව පංති කාමර ගොඩනැගිල්ල සිසු අයිතියට පවරාදුන් ජනාධිපතිතුමා එහි විශේෂ අමුත්තන්ගේ පොතේ සමරු සටහනක් ද තැබීය.

මේ අතර පොළොන්නරුව, හිඟුරක්ගොඩ යෝධඇළ මහා විද්‍යාලයේ දෙමහල් පන්ති කාමර ගොඩනැඟිල්ල සිසු අයිතියට පවරාදීම අද පෙරවරුවේ පළමුව ජනාධිපතිතුමා අතින් සිදු විය.

“පිබිදෙමු පොළොන්නරුව“ දිස්ති‍්‍රක් සංවර්ධන වැඩසටහන යටතේ රුපියල් මිලියන 11.45ක් වැය කරමින් මෙම නව පංති කාමර ගොඩනැගිල්ල ඉදිකර තිබෙන අතර, ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව ඊට ශ‍්‍රම දායකත්වය ලබා දී ඇත.

අනතුරුව පැවති උත්සව සභාව ඇමතූ ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේ රටේ ගොවි ජනතාව වෙනුවෙන් මීට පෙර කිසිදු රජයක් ඉටු නොකළ වැඩපිළිවෙළක් කි‍්‍රයාවට නංවමින් වියළි කලාපයේ වැව් 2400 ක් සංවර්ධනය කිරීමේ වැඩසටහන මෙම වසරේ අරඹන බවයි.

ඒ යටතේ පොළොන්නරුව දිස්ති‍්‍රක්කයේ පමණක් වැව් 123ක ප‍්‍රතිසංස්කරණ කටයුතු සිදුකෙරෙන බව පැවසූ ජනාධිපතිතුමා වසර හැටකට වැඩි කාලයක් දිස්ති‍්‍රක්කයේ ජනතාව මුහුණදුන් ජලය පිළිබඳ ගැටලුව මෙම වසර අවසන්වන විට ස්ථීර වශයෙන්ම අවසන් වනු ඇති බව සඳහන් කළේය.

අධ්‍යාපනයට අවශ්‍ය පහසුකම් ලබාදෙනවා සේම විභාගවලින් දරුවන් හොඳ ප‍්‍රතිඵල ලබාගැනීම අත්‍යාවශ්‍ය බව පෙන්වා දුන් ජනාධිපතිතුමා පොළොන්නරුව දිස්ති‍්‍රක්කයේ පාසල් දරුවන් විභාග ප‍්‍රතිඵලවලදී පෙන්වන දුර්වලතා හඳුනා ගනිමින් දරුවන් විශිෂ්ට අධ්‍යාපන ප‍්‍රතිඵල ලබාගැනීමට සූදානම් කිරීමේ වැඩපිළිවෙළ අදාළ විදුහල්පතිවරුන් සහ අධ්‍යාපන නිලධාරින් සමග සාකච්ඡා කර කි‍්‍රයාවට නංවන බව පැවසීය.

Read more

Local News