ප්‍රචණ්ඩත්වයෙන් සහ තර්ජනයන්ගෙන් පීඩා විඳින ජනතාව සුරක්ෂිත කිරීම අතිශයින් ම වැදගත් – කතානායකවරයා

Share

අපගේ පරම යුතුකම වන​, අප ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව අප පුරවැසියන් වෙත හිමිව ඇති මූලික අයිතිවාසිකම්  සුරක්ෂිත කිරීම උදෙසා කටයුතු කරන ලෙස මම රජයෙන්, පාර්ලිමේන්තුවෙන් සහ ස්වාධීන අධිකරණයෙන් ඉල්ලා සිටිමි. ප්‍රචණ්ඩත්වයෙන් සහ තර්ජනයන්ගෙන් පීඩා විඳින ජනතාව සුරක්ෂිත කිරීම මෙම අවස්ථාවේ අතිශයින් ම වැදගත් යැයි කතානායක කරූ ජයසූරිය මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.

නිකුත් කළ ප්‍රවෘත්ති නිවේදනය මෙසේ ය.

මීට තෙවසරකට පෙර​, සියලුම ආගම්වලට සහ ජාතීන්ට අයත් ශ්‍රී ලාංකික ජනයා, මෙරටින් ජාතිවාදය සහ වර්ගවාදය තුරන් කර, විවිධ අදහස් අගයන​, සාමකාමී, සදාචාරාත්මක රටක් නිර්මාණය කිරීම සඳහා සඳහා, එකාවන්ව සිය ඡන්දය භාවිතා කළෝ ය​. තිස් වසරක ත්‍රස්තවාදී යුද්ධයේ කැළල් මකා ගනිමින්, ජාතීන් අතර සහජීවනය යළි ඇති කරලීමට ක්‍රියා කරන රටක් ලෙස, අප දේශය ජාත්‍යන්තර තලයේ ඔසවා තැබෙද්දී, ලොව වටා සිටින අප සහෝදර දේශප්‍රේමී ශ්‍රී ලාංකිකයෝ ඉමහත් ආඩම්බරයට පත් වූහ​. 2015 ජනවාරි 8 වනදා විප්ලවයට පාදක වූ මෙම සංකල්පයන් ශ්‍රී ලාංකිකයන්ට අලුත් දෙයක් නොවී ය​.

අපගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව සියලුම පුරවැසියෝ භේදයකින් තොරව නිදහස​, සමානාත්මතාව සහ මූලික මිනිස් අයිතිවාසිකම් භුක්ති විඳිති. අප ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රකාරව​, මෙම අයිතීන් පුරවැසියන්ගේ හිමිකම් පමණක් නොව සියලුම ශ්‍රී ලාංකිකයන් මෙන්ම සියලුම ලෝක වාසීන්ගේ අභිමානය සහ සමෘද්ධිය උදෙසා වන ස්පර්ශනීය උරුමයන් වෙති. විධායක​, ව්‍යවස්ථාදායක සහ අධිකරණ ආදී ඕනෑම බලතලයකට අදාල තනතුරකට පත් වන නිලදරුවකු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයෙහි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කිරීමට බැඳී  සිටින්නෝ ය​.

මහනුවර සහ අනෙකුත් ප්‍රදේශවල මුස්ලිම්වරුන් ඉලක්ක කරගෙන මෑතකදී ඇති වූ ප්‍රචණ්ඩ ක්‍රියාවන් බිම් මට්ටමේ ජනවර්ග අතර ගැටුමක ප්‍රතිඵලයක් නොවන්නේ ය​. අප නීතිය අනුව සමාන අයිතීන්ට උරුමකම් කියන මෙම ජනයා එකිනෙකා හා සහජීවනයෙන් යුතුව සියවස් ගණනක් ජීවත්ව ඇත්තා හ​. එහෙයින්, පැහැදිලිවම මෙම ක්‍රියාවන් අප රටේ ජනතාව බෙදා වෙන්කිරීම සහ ඔවුන් වෙත ප්‍රචණ්ඩත්වය මුදා හැරීම තම දේශපාලන ක්‍රමවේදය බවට පත් කරගත් පිරිසකගේ ක්‍රියාවකි. මෙවැනිම ප්‍රචණ්ඩත්වයක් අපි 2014 දී ද දුටිමු.

වර්ගවාදී ලෙස ශ්‍රී ලාංකික ජනතාව බෙදන්නට තනන්නන්ට එරෙහිව සිය හඬ අවදි කරන ලෙස ද, බිය වැද්දීම්, තර්ජනයන් සහ ප්‍රචණ්ඩත්වය භාවිතා කරමින් ජනතාව අතර ආගමික හෝ වාර්ගික ගැටුම් වර්ධනය කරන්නට
උත්සාහ කරන්නන් හෙළා දකින ලෙස ද මම සියලු ආගමික නායකයින්ගෙන් ඉල්ලා සිටිමි. මෙවැනි බෙදීම් ඇති කරන්නන්ට එරෙහිව අප එකාවන් ව හඬ නැගිය යුත්තේ ය​. හිටපු සෝවියට් නායක මිහයිල් ගොර්බචොව්ගේ කියමනක් මේ අවස්ථාවේ ඔබට මතක් කිරීමට කැමැත්තෙමි. “සාමය යනු සමානකම්වල එකමුතුව නොව වෙනස්කම්වල එකමුතුවකි; එකිනෙකා අතර ඇති වෙනස්කම් සන්සන්දනයේ සහ සමාදානයේ ක්‍රියාවලියකි.”  අපට විරෝධතාවයට සහ ප්‍රචණ්ඩත්වයට ඉඩ තැබිය නොහැක​.

අපගේ පරම යුතුකම වන​, අප ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව අප පුරවැසියන් වෙත හිමිව ඇති මූලික අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම උදෙසා කටයුතු කරන ලෙස මම රජයෙන්, පාර්ලිමේන්තුවෙන් සහ ස්වාධීන අධිකරණයෙන් ඉල්ලා සිටිමි. ප්‍රචණ්ඩත්වයෙන් සහ තර්ජනයන්ගෙන් පීඩා විඳින ජනතාව සුරක්ෂිත කිරීම මෙම අවස්ථාවේ අතිශයින් ම වැදගත් ය​. ශ්‍රී ලාංකිකයන් ලෙස ඔවුන්ට හිමි විය යුතු සුරක්ෂිතතාව ඔවුනට හිමි කරදිය යුතු ය​. තම ආත්මාර්ථකාමී දේශපාලන අවශ්‍යතා වෙනුවෙන් අප රට නැවතත් අතීතයේ අඳුරු යුගය කරා ගෙන යන්නට උත්සාහ කරන්නන් දෙස ගරු අධිකරණයේ ද ඇස යොමු කරවිය යුතු ය​.

අද වනවිට, පවතින තත්ත්වය වාර්තා කිරීමට ජනමාධ්‍යවලට පූර්ණ නිදහස ඇත​. අද​, අප පසෙකට වී බලා නොසිටිනු ඇත​. අහිංසක ජනයා බිය වැද්දීමට ඉඩ දී පොලිසිය සහ හමුදාව අනෙක් පස බලා නොසිටිනු ඇත​. අද බිය විය යුත්තේ එම බිය වද්දන්මය​. මක් නිසාද යත් නීතිය ඔවුනට එරෙහිව තදින් ක්‍රියාත්මක වනු ඇති බැවිනි.

Read more

Local News