වලස්මුල්ල හා අඹතලේ ප්‍රදේශවල පානීය ජල ව්‍යාපෘති දෙකක් – දේශීය සහ විදේශීය බැංකු මගින් මූල්‍ය පහසුකම්

Share

කිරම කටුවන ජලසම්පාදන ව්‍යාපෘතිය සහ ඔරුගොඩවත්ත අඹතලේ මාර්ග සංවර්ධන ව්‍යාපෘතියට සමගාමීව ප්‍රධාන ජලනල පද්ධතිය වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය ආරම්භ කිරීමේ ප්‍රමුඛතාවය සහ වැදගත්කම සැලකිල්ලට ගනිමින් ව්‍යාපෘතීන් ක්‍රියාත්මක කිරීම සඳහා දේශීය සහ විදේශීය බැංකු මගින් මූල්‍ය පහසුකම් ලබාගැනිමට රජයට හැකිව තිබේ.

ඒ අනුව, ඔස්ට්‍රියාවේ යුනික්‍රෙඩිට් බැංකුව ඉහත ව්‍යාපෘතීන් ක්‍රියාත්මක කිරිම සඳහා යුරෝ මිලියන 61 ක (ආසන්න වශයෙන් රුපියල් මිලියන 11,285 ක්) ණය ආධාර ලබාදීමට එකඟ වී ඇත.

කිරම කටුවන ජලසම්පාදන ව්‍යාපෘතිය යටතේ කිරම සහ කටුවන අර්ධ නාගරික ප්‍රදේශ ඇතුලුව කටුවන සහ වලස්මුල්ල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශවල ජීවත්වන 31,000 කගේ පමණ පානීය ජල අවශ්‍යතාවය සම්පූර්ණ කිරීම සඳහා දිනකට ජලය ඝන මීටර් 3500 ක් පිරිපහදු කල හැකි ජල පවිත්‍රාගාරයක් ඉදිකිරීමට සහ අවශ්‍ය අනෙකුත් යටිතල පහසුකම් සැපයීමට නියමිතය.

ව්‍යාපෘතියේ 85% වියදම පියවා ගැනීම සඳහා ඔස්ට්‍රියානු යුනික්‍රෙඩිට් බැංකුව යුරෝ මිලියන 50.6 ක අපනයන ණය පහසුකමක් ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය වෙත ලබාදෙන අතර ඉතිරි 15% ක මුදල මහජන බැංකුව මගින් (දළ වශයෙන් රුපියල් මිලියන 1410 ක්) ලබාදෙයි.

ඉහත ණය ගිවිසුම් 03 අත්සන් කිරීම මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේදී, නාගරික සැලසුම් හා ජලසම්පාදන අමාත්‍ය රවුෆ් හකීම් මහතාගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.

Read more

Local News