බැක්ටීරියාවලින් ආරක්ෂාවීමට නම් සංචාරකයින් අනිවාර්යයෙන්ම වෛද්‍ය පරීක්ෂණයක් සඳහා යොමුකළ යුතුයි – වෛද්‍ය ඩී. මැදගෙදර මහතා

Share

ස්වශනරෝග විශේෂඥ වෛද්‍ය ඩී. මැදගෙදර මහතා අද (19) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති ලෝක ක්ෂය රෝග දිනය පිළිබඳ ව මාධ්‍ය දැනුම්වත් කිරීමේ මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් පැවසුවේ,
ක්ෂය රෝගය ඇතුළු දරුණු ගණයේ බැක්ටීරියාවලින් ආරක්ෂාවීමට නම් සංචාරකයින් අනිවාර්යයෙන්ම වෛද්‍ය පරීක්ෂණයක් සඳහා යොමුකළ යුතු බවත් ඒ තුළින් විවිධ බැක්ටීරියා රටට ඇතුළුවීම යම් පමණකින් පාලනය කරගත හැකි බවයි.
“ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් රැකියා සඳහා විදේශ ගත වීමේ දී ශ්‍රී ලංකාවේදී වෛද්‍ය පරීක්ෂණයකට ලක්කරනු ලබනවා. නමුත් ඒ රට තුළ දීත් වෛද්‍ය පරීක්ෂණවලට යොමු කරනවා. යම් රෝගී තත්ත්වයකින් නොපෙළුන ද යම් සැක සහිත තත්ත්වයක් තුළදී ඔවුන් නැවත හරවා මෙරටට එවීමට ඔවුන් ක්‍රියාත්මක කරනවා. නමුත් දකුණු ආසියාව ඇතුළු රටවල් රැසකින් දෛනිකව ශ්‍රී ලංකාව සංචාරකයින් පැමිණීමේදී වෛද්‍ය පරීක්ෂාවක් සිදු කරන්නේ නැහැ. එමෙන් ම ලාංකිකයන් අති විශාල පිරිසක් දෛනිකව දඹදිව සංචාරය කර දිවයිනට පැමිණෙනවා. නමුත් ඔවුන්ද පරීක්ෂා කිරීමට ක්‍රමවේදයක් ශ්‍රී ලංකාවේ නොමැතියි. ඉන්දියාව සම්පූර්ණයෙන්ම ක්ෂය රෝගී ප්‍රතිරෝදී රටක් වශයෙන් හඳුනාගෙන තිබෙනවා. එබැවින් එවැනි ක්‍රමවේදයක් ස්ථාපිත කිරීම කළ යුතුම දෙයක්” යැයි ද වෛද්‍යවරයා මෙහිදී පැවසීය.
එමෙන් ම යම් රෝගීයෙක් තමන්ට ක්ෂය රෝගය වැළඳී ඇති බවට දැනුම්වත් වීමෙන් අනතුරුව ද ප්‍රතිකාර සඳහා යොමු නොවී සිටින විට අත්අඩංගුවට පත්කිරීමට පවා ලංකාවේ දී හැකියාව පවතින බවත් පෙන්වා දුනි.
ලෝකයේ වෛද්‍ය විද්‍යාව කොතරම් දියුණුවක් ලැබුවද ක්ෂය රෝගය සම්පූර්ණයෙන්ම තුරන් කිරීමට මෙතෙක් අවස්ථාව නොලැබී ඇතැයි ද වඩාත් ඵලදායි ආකාරයෙන් වර්ෂ 2035 පමණ වන විට සමාජයෙන් මෙම රෝගය සම්පූර්ණයෙන් ම තුරන් කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් සැලසුම් සකස් කරමින් පවතීන බවත් පෙන්වාදුන් වෛද්‍ය ඩී. මැදගෙදර මහතා ක්ෂය රෝගය සර්වාංග රෝගයක් බවත් එය නියපොතු හා කෙස්වලට හැරුණු කොට ශරීරයේ සියලු අංශයන්ට හානි පැමිණවීමේ හැකියාව පවතින බවත් වැඩිදුරටත් පෙන්වා දුනි.

Read more

Local News