මඩකළපුව ගුවන්තොටුපළ සිවිල් ගුවන් සේවා සඳහා 25 දින සිට විවෘත වේ

Share

රජය විසින් රට තුළ අභ්‍යන්තර ගුවන් සේවා ප්‍රචලිත කිරීම හා නැගෙනහිර පළාතේ දේශිය හා විදේශීය සංචාරක ව්‍යාපාරය පුළුල් කිරීමේ අරමුණ ඇතුව මඩකළපුව අභ්‍යන්තර ගුවන් තොටුපළ සිවිල් ගුවන් සේවා අධිකාරියට පැවරීමෙන් අනතුරුව, ගුවන් යානා මෙහෙයුම් හා සේවා කටයුතු ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගම විසින් මාර්තු 25 වෙනි දා ආරම්භ කිරීමට නියමිතය.

1958 වසරේ නොවැම්බර් මස 17 වන දින සිවිල් ගුවන් සේවා දෙපාර්තමේන්තුව යටතේ ආරම්භ කරනු ලැබූ මඩකළපුව අභ්‍යන්තර ගුවන් තොටුපළ වසර ගණනාවක් පුරා රට තුළ පැවති කුරිරු යුධමය වාතාවරණය හේතුවෙන් වසර 25 කට ආසන්න කාලයක් යුධ හමුදා හා ගුවන් හමුදා මෙහෙයුම් කටයුතු සඳහා පරිහරණය කරන ලදී.

නමුත් රට තුළ පවතින වත්මන් සාමකාමී තත්ත්වය පදනම් කර ගනිමින් මෙම ගුවන් තොටුපළ යළි ප්‍රතිසංවර්ධනය කර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් 2016 වසරේ ජූලී 16 වන දින විවෘත කරන ලදී.

මෙම ගුවන් තොටුපළ නවීකරණය කොට ප්‍රතිසංවර්ධනය කිරීමට රුපියල් මිලියන 1400 ක මුදලක් රජය විසින් වැය කර ඇත. ඒ අනුව මීටර් 1066 ක් දිගින් හා මීටර් 46 ක් පළලින් යුතු ධාවන පථය ප්‍රතිසංවර්ධනය කොට ධාවන පථයේ නව විදුලි පද්ධතියක්ද ස්ථාපිත කොට ඇත. මීට අමතරව මගී පර්යන්ත ගොඩනැගිල්ලද සියලු පහසුකම් සහිතව නවීකරණය කොට ඇත.

මඩකලපුව ගුවන් තොටුපළ, මඩකලපුව නගරයේ සිට 1.7 km ක් පමණ දුරින් සේත්තුකුඩා යන ප්‍රදේශයේ පිහිටා ඇති අතර, කටුනායක සිට 206 km ක් හා රත්මලාන ගුවන් තොටුපළේ සිට 222 km ක දුරින් පිහිටා ඇත.

ලබන 25 වෙනිදායින් පසු මෙම ගුවන් තොටුපළේ සියලු කාර්යයභාරයන් ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගම විසින් සිදු කෙරෙන අතර, පෞද්ගලික ගුවන් සේවා සමාගම් කිහිපයක්ම මේ වන විට රත්මලාන හා මඩකලපුව අතර මගී ගුවන් සේවා පවත්වාගෙන යෑම සඳහා කැමැත්ත පළ කර ඇති බවත්, මේ තුළින් රජයට ආර්ථික ප්‍රතිලාභයක් ලබා ගැනීමට හැකිවන බවත් ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය පවසයි.

Read more

Local News