තොරතුරු සන්නිවේදන තාක්‍ෂණ අංශය අප රටේ වේගයෙන්ම ව්‍යාප්ත වන අංශයක් වෙලා – අනාගතයේදී තොරතුරු තාක්‍ෂණ අංශයෙන් රැකියා ලක්‍ෂ 02 ක්

Share

කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා කොළඹදී පැවති, අසියානු ශාන්තිකර කලාපීය සමූපකාර සංවර්ධනය සඳහා වූ වැඩමුළුවට සහභාගී වෙමින් පැවසුවේ,

අප රජයේ දැක්ම වන්නේ වර්ෂ 2022 වන විට ශ්‍රි ලංකාව තොරතුරු සන්නිවේදන තාක්‍ෂණ ක්‍ෂේත්‍රයේ නවෝත්පාදන හා ඩිජිටල් සවිබල ගැන්වීම සහිත තරඟකාරී කේනද්‍රස්ථානයක් බවට පත් කිරීම බවත්, එමඟින් අනාගතයේදී තොරතුරු තාක්‍ෂණ ක්‍ෂේත්‍රයේ රැකියා ලක්‍ෂ 02 ක් උත්පාදනය කිරීමට සැලසුම් කර ඇති බවයි.

“මුළු ලෝකයම අද නව ව්‍යාපාර, තොරතුරු සන්නිවේදන තාක්‍ෂණය අනුව පරිවර්තනය වෙමින් පවතිනවා. අප රටේ තොරතුරු සන්නිවේදන තාක්‍ෂණ අපනයනය සිව්වන ස්ථානයේ පවතිනවා. එය ඉදිරි වසර කිහිපය තුළ පළමු ස්ථානයට ගෙන ඒමට අප සැලසුම් කරලා තියෙනවා. මේ වන විට මෙම තොරතුරු සන්නිවේදන තාක්‍ෂණ අංශය අප රටේ වේගයෙන්ම ව්‍යාප්ත වන අංශයක් බවට පත් වෙලා තියෙනවා. එම නිසාම මෙම තොරතුරු සන්නිවේදන තාක්‍ෂණ ක්‍ෂේත්‍රයේ සහ එම විශේෂඥයින් දිරිමත් කිරීමටත්, ඔවුන් නඟා සිටුවීමටත් ඩිජිටල් සංවර්ධනය යටතේ අප කළ යුතු වෙනවා. ඒ සඳහා අප මේ වන විටත් සැලසුම් කරලා තියෙනවා. අපේ රටේ දේශීය තොරතුරු සන්නිවේදන තාක්‍ෂණ ආයතන 300 කට වඩා වැඩි ප්‍රමාණයක් තියෙනවා. ඔවුන් තමන්ගේම පරිගණක මෘදුකාංග නිෂ්පාදනය කරලා ඒවා ලෝකයේ රටවල් ගණනාවකට අපනයනය කරනවා. ඒ අතර උතුරු ඇමරිකාව, යුරෝපා සංගමය, ඕස්ට්‍රෙලියාව, මැද පෙරදිග රටවල්, අප්‍රිකාව, නැගෙනහිර ආසියාව හා උතුරු කලාපය විශේෂ වෙනවා. මීට අමතරව අප ලෝකයේ ” සුපිරි 500 ” කර්මාන්ත සමගද එකතුවී සිටිනවා. එසේම ස්වීඩනය, නෝර්වේ, එක්සත් ජනපදය හා ජපානය ඇතුළු රටවල් කීපයක් සමඟ තොරතුරු සන්නිවේදන තාක්‍ෂණ ක්‍ෂේත්‍රයේ හවුල් ව්‍යාපාරද ආරම්භ කරලා තියෙනවා.” යැයි පැවසීය.

Read more

Local News