සිංහල දෙමළ අලුත් අවුරුදු සමය සඳහා රතිඤ්ඤාවල දැඩි හිඟයක්

Share

සිංහල සහ දෙමළ අලුත් අවුරුදු සමයේ රතිඤ්ඤාවල උග්‍ර හිඟයක් ඇති වන බවත් මිළෙහි ඉහළ යාමක් සිදු වන බවත් රතිඤ්ඤා නිෂ්පාදකයෝ පවසති.

ශ්‍රී ලංකා ගිනිකෙළි නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති සේන දයානන්ද මහතා පවසන්නේ ගිනිකෙළි නිෂ්පාදනයට අවශ්‍ය රසායන ද්‍රව්‍ය රජයේ සමාගමක් මගින් ආනයනය කර බෙදා හරින නමුත් මෙවර ගෙන්වා ඇති වෙඩි ලුණු ප්‍රමිතියෙන් බාල වීම නිසා කර්මාන්තවලින් සියයට අනූවක්ම වසා දැමීමට සිදු වූ බවත් දහස් ගණනකයේ රැකියා අහිමි වී ඇති බවයි.

මෙලෙස ආනයනය කර ඇති බාල වෙඩි ලුණු පරීක්ෂා කිරීම සඳහා කර්මාන්ත ශාලාවලට ලබා දුන්නත් එම රසායන ද්‍රව්‍ය අනෙකුත් රසායන ද්‍රව්‍ය සමඟ මිශ්‍ර වීමේදී රත් වීම මෙම කර්මාන්තය තුළ අනතුරුදායක බැවින් එම රසායන ද්‍රව්‍ය භාවිතා කිරීම නවත්වා දමා ඇති බව ද දයානන්ද මහතා කීය.

එළඹෙන සිංහල දෙමළ අලුත් අවුරුදු සමය සඳහා මෙවර රතිඤ්ඤාවල දැඩි හිඟයක් ඇති වන බවත් මිළෙහි වැඩි වීමක් ඇති වන බවත් දයානන්ද මහතා ප්‍රකාශ කළේය.

Read more

Local News