කිතුල් කර්මාන්තය නංවාලීම සඳහා මේ වසරට රුපියල් මිලියන 15ක් වෙන් කරයි

Share

කිතුල් කර්මාන්තය නංවාලීමේ අරමුණින් ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍යංශය ක්‍රියාත්මක කර ඇති කිතුල් ගම්මාන සංවර්ධන ව්‍යාපෘතිය මගින් මේ වසරේ ක්‍රියාත්මක කරන ව්‍යාපෘති සම්බන්ධයෙන් සාකච්ජාවක් ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍ය පී.හැරිසන් මහතාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යංශයේදී පැවැත්විණි.

කිතුල් කර්මාන්තය නංවාලීම සඳහා මෙම වසරට රුපියල් මිලියන 15ක් වෙන් කර ඇති අතර ක්‍රියාත්මක කළ යුතු වඩාත් ඵලදායී ව්‍යාපෘති කුමක්ද යන්න පිළිබදව මෙහිදී සාකච්ඡා කෙරිණි.

සාකච්ඡාවෙන් අනතුරුව අදහස් දැක්වු අමාත්‍යවරයා, කිතුල් නිෂ්පාදකයන්ට තම කර්මාන්තය කරගෙන යාමට අවශ්‍ය බලපත්‍ර ලබා ගැනීමේදී ගැටළු රැසකට මුහුණ දීමට සිදුවී ඇති බැවින් ඔවුන් බලපත්‍ර ලබා ගැනීමෙන් නිදහස් කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව පැවසීය.

කිතුල් කර්මාන්තය වැඩි වශයෙන් ව්‍යාප්තව පවතින නුවරඑළිය, රත්නපුර, බදුල්ල, කෑගල්ල, මාතර යන දිස්ත්‍රික්කයන්හි එක් ගම්මානයක් බැගින් තෝරා ගෙන කිතුල් පැල සිටුවීමේ ව්‍යාපෘතියක් ආරම්භ කරන බවද පැවසීය.

මෙහිදී අස්වැන්න ඉක්මනින් ලබා ගත හැකි හයිබ්‍රිඩ් පැල වගා කිරීම කෙරේ අවධානය යොමු කරන ලදී.

කිතුල් නිෂ්පාදන වලට හොද ඉල්ලුමක් තිබුනත් නිෂ්පාදකයාට ඊට සාධාරණ මුදලක් ලැබෙන්නේ නැහැ. මේ තත්වය වෙනස් කළ යුතුයි. ඒ සදහා ඉදිරියේදී සුපිරි වෙළඳ ආයතන සම්බන්ධ කර ගනිමින් නිෂ්පාදකයන්ට තම නිෂ්පාදන අලෙවි කර ගැනීමට එම ආයතන හා සාකච්ඡා කරන බවද අමාත්‍යවරයා පැවසීය.

එමෙන්ම කිතුල් නිෂ්පාදනය වැඩියෙන් සිදු කරන ප්‍රදේශවල අලෙවි කුටි ඇති කිරීමට අවශ්‍ය කටයුතු සලසා දෙන බවද පැවසීය .

Read more

Local News