ගසක සිරවී සිටි දළ ඇතා ගම්වාසීන් බේරාගනී

Share

උඩවළව ජාතික වනෝද්‍යානයේ සැරිසරන අවුරුදු හතළිස් පහක් පමණ වයසැති දළ ඇතෙක් එහි නැගෙනහිර මායිමේ පිහිටි මයිල ගසක සිරවී බිම වැටී අසාධ්‍යව සිටිය දී ගම්වාසීන් සහ වනජීවී නිලධාරීන්ගේ එකමුතු ප්‍රයත්නයක් මගින් බේරාගනු ලැබුණි.
වන ජීවී නිලධාරීන් විසින් ඇතා නිර්වින්දනය කරනු ලැබීමෙන් අනතුරුව මයිල ගසා කපා ඇතා ඉවත් කර ගෙන ඇත.

ගම් වැදී වගා විනාශ කිරීමට පුරුදුව සිටි දළ ඇතා උඩවළව ජාතික උද්‍යානයේ සිටින බවට දැනට නිරීක්ෂනය කර ඇති ඇතුන් දොලොස් දෙනාගෙන් එක් ඇතකු බව වනජීවී දෙපාර්තමේන්තුවේ දකුණු පළාත් භාර සහකාර අධ්‍යක්ෂ ප්‍රශාන්ත විමලදාස පවසයි.

තම වගාවන් වනසා දමන නමුත් විපතට පත් අවස්ථාවේ ඇතා බේරා ගැනීම සඳහා පනස් දෙනෙකුට අධික ගම්වාසීහු වන ජීවී නිලධාරීන්ට උදව් වෙමින් සිටියහ.එම කාර්යය සඳහා තිස් දෙනෙක් පමණ වනජීවී නිලධාරීන් ද එක් වූහ.
වන ජීවී පශු වෛද්‍යවරු ඇතා නිර්වින්දන කරමින් සේලයින් ලබා දෙමින් සිටින අතරවාරයේ දළ සිර වී තිබූ මයිල ගස කපා ඉවත් කරන තෙක් අවශ්‍ය ආරක්ෂාව ද සැපයුනි.

දළ දෙක සහ හොඬය ගසේ හිරවීම නිසා නිරාහාරව සිටි දළ ඇතාට ගම්වාසීන් විසින් ආහාර සපයන ලද ආකාරයත් ඉතා සිත් ගන්නා දර්ශනයක් විය.

Read more

Local News