ශ්‍රී ලංකා නාවික හමුදාවේ දෙවන අධිතාක්ෂණික ගැඹුරු මුහුදු නිරික්ෂණ නෞකාව අගමැතිගේ සුරතින් අධිකාරියට

Share

ඉන්දියාවේ ගෝවා නැව් තඨාකාංගණයේදී ශ්‍රී ලංකා නාවික හමුදාව වෙනුවෙන් නිෂ්පාදනය කළ දෙවන අධිතාක්ෂණික ගැඹුරු මුහුදු නිරික්ෂණ නෞකාව අධිකාරියට පත් කිරීම ඊයේ (19) දින ශ්‍රී ලංකා ප්‍රජාත්‍රන්තික සමාජවාදී ජනරජයේ අග්‍රාමාත්‍ය ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ සුරතින් පස්වරු 5.30 කොළඹ වරායේ නැගෙනහිර බහාලුම් පර්යන්තයේදී සිදු කෙරිණි.

මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී වූ ගරු අග්‍රාමාත්‍යතුමා වෙත නාවික හමුදා විශේෂ සම්මාන මුරයක් මගින් ආචාරය පුද කෙරිණි. ඉන් අනතුරුව සම්මාන මුරය පිරික්සූ ගරු අග්‍රාමාත්‍යතුමන් විසින් අභිනව නෞකාවේ අණදෙන නිලධාරී, කපිතාන් සමන් පෙරේරා මහතා වෙත නෞකාව අධිකාරියට පත් කිරීමේ සන්නස් පත්‍රය ප්‍රදානය කරන ලදී. එහිදී, කපිතාන් පෙරේරා මහතා විසින් සන්නස් පත්‍රය උත්සව සභාව වෙත ප්‍රකාශයට පත් කරමින්, සිය මාතෘ භූමියේ  සුරක්ෂිතතාවය තහවුරු කිරීම උදෙසා තමන් වෙත පැවරී ඇති වගකීම නොපිරිහෙලා ඉටු කරන බවට ද ප්‍රතිඥා දෙන ලදී. ඉන් පසුව, ශ්‍රී ලංකා නාවික නෞකා සිඳුරළ නමින් අධිකාරියට පත් කරන ලද මෙම අධි තාක්ෂණික නෞකාවේ නාම පුවරුව සහ නිල ලාංඡනය නිරාවරණය කිරීම, සර්ව ආගමික ආශිර්වාදය මධ්‍යයේ ගරු අග්‍රාමාත්‍යතුමන් අතින් සිදු කෙරිණි.

තවද, අග්‍රාමාත්‍යතුමන් ඇතුළු සම්භාවනීය අමුත්තන් නෞකාවේ නවීන පහසුකම් සහ උපකරණ පිළිබඳ නිරීක්ෂණ චාරිකාවක නිරත වූ අතර, නාවික හමුදාධිපතිතුමා විසින් නෞකාවේ මෙහෙයුම් සූදානම, සැකැස්ම සහ ක්‍රියාකාරීත්වය පිළිබඳව අග්‍රාමාත්‍යතුමන් ඇතුළු ප්‍රභූ පිරිස දැනුවත් කරන ලදී. සිඳුරළ නෞකාව නවීන තාක්ෂණයෙන් සහ විශේෂිත අංගෝපාංග රැසකින් ද සමන්විත වේ. එහි දිග මිටර් 105.7 ක් වන අතර, පළල මිටර් 13.6 ක් වේ. එමෙන්ම, නිලධාරීන් 18 දෙනෙකුගෙන් සහ නාවිකයන් 100 දෙනෙකුගෙන් එහි නැව් මුළුව සමන්විත වන අතර, සැහැල්ලු හෙලිකොප්ටර් යානා ගොඩබැස්සවිය හැකි අංගනයක් ද මෙය සතුය.

Read more

Local News