කෘෂිකර්ම අමාත්‍යාංශ ගොඩනැගිල්ල පිළිබඳ කතානායක කාර්යාලය කරුණු පැහැදිලි කරයි

Share

ගරු අමාත්‍ය මහින්ද අමරවීර මැතිතුමාගේ ප්‍රකාශයක් උපුටා දක්වමින් කෘෂිකර්ම අමාත්‍යාංශය රජමල්වත්ත ගොඩනැගිලි සංකීර්ණයේ සිට රාජගිරිය ප්‍රදේශයේ ගොඩනැගිල්ලක් වෙත ගෙන යන ලද්දේ පාර්ලිමේන්තුවේ ඉල්ලීමක් පරිදි බව ඵලව ඇති ප්‍රවෘත්තිය ගරු කථානායකතුමන්ගේ අවධානයට ලක්ව ඇත.

2015 නව රජය පත්වු පසු පාර්ලිමේන්තුවේ ස්ථාපිත කරන ලද ආංශික කාරක සභාවන්හි කටයුතු සඳහා අමතර කාර්යාල පහසුකම් අවශ්‍යව තිබූ අතර, ඒ සඳහා පාර්ලිමේන්තු බිම් මහලේ ගරාජය සුදුසු පරිදි සකසා ගැනීම සඳහා ගරු කථානායකතුමන්ගේ උපදෙස් පරිදි පාර්ලිමේන්තුවේ නිලධාරීන් විසින් අවධානය යොමු කර තිබිනි.

නමුත් ඒවන විට, සියළුම පාර්ලිමේන්තු මන්ත්‍රවරුන්ටද පාර්ලිමේන්තුවට ආසන්නයෙන් කාර්යාල පහසුකම් සැපයිම පිළිබඳව රජයේ අවධානය යොමු වී තිබු බැවින්, පාර්ලිමේන්තුවේ ආංශික කාරක සභා සඳහා අවශ්‍ය අමතර ඉඩකඩ ලබා ගැනීම සහ මන්ත්‍රී කාර්යාල සඳහා ගොඩනැගිලි පහසුකම් ලබා ගැනීම යන අරමුණු 02 ක සඳහාම එකම ගොඩනැගිලි සංකීර්ණයක් යොදා ගැනීම ප්‍රයෝගිකය යන අදහසින් යුතුව පාර්ලිමේන්තුවට ආසන්නව පවතින කෘෂිකර්ම අමාත්‍යාංශයට අයත් ගොඩනැගිලි සංකීර්ණය ලබා ගැනීමට රජය විසින් තීරණය කරන ලදී. කෘෂිකර්ම අමාත්‍යංශය වෙනත් ස්ථානයක ස්ථාපිත කෙරුනේ රජයේ මෙම තීරණ මත වන අතර, එය පාර්ලිමේන්තුව විසින් කරන ලද ඉල්ලීමක ප්‍රතිඵලයක් නොවේ,

මේ අනූව, කෘෂිකර්ම අමාත්‍යාංශය පැවැති රජමල්වත්ත ගොඩනැගිලි සංකීර්ණය හෝ එහි කොටසක් පාර්ලිමේන්තුව වෙත ලබා දෙන ලෙස හෝ කෘෂිකර්ම අමාත්‍යාංශය රාජගිරියේ නව ගොඩනැගිල්ලකට ගෙන යාම පිළිබඳව යෝජනාවක් පාර්ලිමේන්තුව විසින් ඉදිරිපත් කර නොමැති බව සඳහන් කල යුතුය.

කෙසේ උවද , රජයේ තීරණය පරිදි රජමල්වත්තේ පිහිටි ගොඩනැගිලි පාර්ලිමේන්තුවේ කටයුතු සඳහා යොදාගැනීමේ දී සියළු ප්‍රතිසංස්කරණ කටයුතු නාවුක හමුදාවේ සහයෙන් සිදු කිරිමට ද එම කාර්යාලයන්හි පැවැති පැරණි උපකරණ අළුත්වැඩියා කර නව කාර්යාල උපකරණ සඳහා යන වියදම් වැලැක්විමටද පියවර ගනු ලැබ ඇත.

වියදම් අවම කිරීමේ දී තමාද පුද්ගලිකවම ක්‍රීයාත්මක විය යුතු බව කල්පනා කල වත්මන් කථානායකවරයා මින්පෙර හිටපු කථානායකතුමන් භාවිතා කල මෝටර් රථයම සිය නිල රථය ලෙස යොදා ගනු ලැබූ අතර, අවම වශයෙන් තමා වෙනුවෙන් අළුතෙන් සකස් කිරීමට නියමිතව තිබූ කථානායක නිල කබායද ප්‍රතික්ෂේප කර හිටපු කථානායකතුමන් භාවිතා කල පැරණි කබාය සුදුසු පරිදි සකසා භාවිතා කර වැදගත් පූර්වාදර්ශයක් සැපයු බවද පෙන්වා දෙමු.

මේ අනූව, පාර්ලිමේන්තුව කථානායක කරු ජයසුරිය මහතාගේ නායකත්වය යටතේ මහජන මුදල් ආරක්ෂා කරන උපරිම අරපිරිමැස්මෙන් සහ විනිවිදභාවයෙන් යුතුව භාවිතා කරන ස්ථානයක් ලෙස ක්‍රියාකරනු ඇති බව අවධාරණය කරමු.

කථානායක මාධ්‍ය අංශය

Read more

Local News