සම්බුද්ධ ශාසනය, භික්ෂු සමාජය වෙනුවෙන් ඉටුකළ යුතු වගකීම් හා යුතුකම් නොපමාව ඉටුකරනවා

Share

රාමඤ්ඤ මහා නිකායේ අනුනායක ධූරයෙන් පිදුම් ලද සද්ධර්ම කීර්ති ශී‍්‍ර විද්‍යා විභූෂණ, රාජකීය පණ්ඩිත පූජ්‍ය මාතලේ ශ‍්‍රී ධම්මකුසල අනුනායක ස්වාමින් වහන්සේ වෙත එම ධූරය පිළිබඳ අක්තපත‍්‍ර පිළිගැන්වීම වෙනුවෙන් ඊයේ (17) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ පැවති පුණ්‍ය මහෝත්සවය අමතමින් ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා ප‍්‍රකාශ කළේ,

සම්බුද්ධ ශාසනය සහ භික්ෂු සමාජය වෙනුවෙන් ඉටුකළ යුතු වගකීම් හා යුතුකම් ත්‍රෛනිකායික මහා සංඝරත්නයේ අවවාද සහ අනුශාසනා අනුව නොපමාව ඉටුකරන බවත්, ඒ වෙනුවෙන් බොහෝ වැඩකොටසක් මේ වන විට ඉටු කර තිබෙන අතර ඉදිරියේදී එම වැඩපිළිවෙළ ශක්තිමත්ව ඉදිරියට කි‍්‍රයාත්මක කරන බවයි.

දක්ෂ වියත් පඬිරුවනක් වන පූජ්‍ය මාතලේ ශ‍්‍රී ධම්මකුසල අනුනායක ස්වාමින් වහන්සේගේ ශාසනික හා සාමාජයීය මෙහෙවර අගය කරමින් උන්වහන්සේට මෙම ධූරය පිරිනමා තිබේ.

මෙම පුණ්‍යෝත්සවය ඇමතූ ජනාධිපතිතුමා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ සමාජය යහමගට ගැනීම සඳහා ආගමික දර්ශනයන්ට අනුව ඉටුකළ යුතු වැඩපිළිවෙළ ද නොපමාව ඉටු කිරීමට වත්මන් රජය උරදී සිටින බවයි.

ධර්මධර, විනයධර බහුශ‍්‍රැත මහා සංඝ පීතෘවරයාණන් වහන්සේ නමක් වූ පූජ්‍ය මාතලේ ශ‍්‍රී ධම්මකුසල අනුනායක හිමිපාණන් වහන්සේගේ ශාසනික සහ සාමාජයීය මෙහෙවර මෙහිදී ඇගයීමට ලක් කළ ජනාධිපතිතුමා උන්වහන්සේගේ චරිතයෙන් නව තරුණ භික්ෂු පරපුරට සහ ගිහි සමාජයට ලබාදෙන ආදර්ශය ඉතා වැදගත් බව ද කියා සිටියේය.

 

Read more

Local News