2025 වන විට ම‌ෙරට දියර කිරි නිෂ්පාදනයෙන් ස්වයංපෝෂිත කිරිම සඳහා බහුවිධ වැඩපිළිවෙළක්

Share

දේශීය කිරි කර්මාන්තය ශක්තිමත් කරමින් වසර 2025 වන විට ශ‍්‍රී ලංකාව දියර කිරි නිෂ්පාදනයෙන් ස්වයංපෝෂිත කිරිම සඳහා බහුවිධ වැඩපිළිවෙළක් ඇතුළත් කෙටුම්පතක් කඩිනමින් සකස් කරන ලෙස ජනාධිපතිතුමා අදාළ අංශවලට උපදෙස් දෙයි.

දැනට දිවයිනේ පාසල් 450ක පමණ කි‍්‍රයාත්මක දියර කිරී ලබාදීමේ වැඩපිළිවෙළ තවදුරටත් ව්‍යාප්ත කරමින් ඉදිරියේදී සියලු පාසල් දරුවන්ට කිරි වීදුරුවක් ලබාදීමේ ඉලක්ක සහගත වැඩපිළිවෙළ සැලසුම් කරන ලෙස ද ජනාධිපතිතුමා නිලධාරින්ට උපදෙස් දුන්නේය.

එහි පළමු පියවර ලෙස රටේ ප‍්‍රාථමික පාසල්වල දරුවන්ට එනම් සිසුන් දාහත් ලක්ෂයකට පෝෂ්‍ය පදාර්ථයෙන් අනූන දියර කිරි ලබාදීමට කටයුතු කරනු ඇත.

දියර කිරි නිෂ්පාදනයේ අතිරික්තයක් ඇති නොවන අන්දමින් එම නිෂ්පාදන පාසල් වෙත ලබාදීමට කටයුතු කරන ලෙසත්, නිෂ්පාදන ඉහළ නැංවීම තුළින් කිරි ගොවීන් වෙත දියර කිරි සඳහා නිසි මිලක් ලබා ගැනීමට අවස්ථාව සකස් කරන ලෙසත් ජනාධිපතිතුමා වැඩිදුරටත් උපදෙස් දුන්නේය.

අයිස් කි‍්‍රම් ඇතුළු කිරි ආහාර නිෂ්පාදන සඳහා භාවිතා කරනු ලබන අමුද්‍රව්‍ය නිසි ප‍්‍රමිතීන්ට අනුව යොදාගන්නේ ද යන්න පිළිබඳ වැඩිදුර අවධානය යොමු කළයුතු අතර, එම නිෂ්පාදන සඳහා ගුණාත්මකභාවයෙන් අඩු ලාබදායී අමුද්‍රව්‍ය යොදාගන්නන් පිළිබඳ සොයා බලා ඒ පිළිබඳ වාර්තාවක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන ලෙස ද ජනාධිපතිතුමා අදාළ නිලධාරින්ට උපදෙස් දුන්නේය.

Read more

Local News