“ඩබ්ලියු. ඒ. අබේසිංහ සාහිත්‍ය මෙහෙවර” සැමරුම් උත්සවය ජනපති ප‍්‍රධානත්වයෙන්

Share

ශී‍්‍ර ලංකාවේ ප‍්‍රකට ගත්කතුවරයෙකු වන ආචාර්ය ඩබ්ලියු.ඒ. අබේසිංහ ශූරින්ගේ ලේඛන දිවියට පනස් වසරක් සපිරීම නිමිත්තෙන් ඒ මහතාගේ සාහිත්‍ය මෙහෙවර අගයනු වස් සංවිධානය කළ විශේෂ සැමරුම් උත්සවයක් ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (12) පස්වරුවේ කොළඹ පදනම් ආයතනයේ දී පැවැත්විණි.

සිංහල, ඉංගී‍්‍රසි දෙබසින්ම ග‍්‍රන්ථ රචනා කළ ප‍්‍රබන්ධකරුවෙකු, කවියෙකු, ගීත රචකයකු, පරිවර්තකයකු හා සාහිත්‍ය විචාරකයකු වන ඩබ්ලියු. ඒ. අබේසිංහ මහතා විසින් ඉකුත් අඩසියවස තුළ ලියා ප‍්‍රකාශයට පත් කරන ලද ග‍්‍රන්ථ සංඛ්‍යාව 300 කට ආසන්නය.

ඔහු විසින් කාණ්ඩ තුනකින් යුතුව ලියා පළ කළ මාර්ටින් වික‍්‍රමසිංහ මහගත්කරු වත විශේෂ සාහිත්‍ය ප‍්‍රයත්නයක් සේ සැලකෙයි.

එසේම සිංහල රුසියානු සහ භාරතීය නවකතා සහ කෙටිකතා රැසක්ම ඔහුගේ පරිවර්තන කෘති අතර වේ. 1966 දී සෝවියට් දේශයේ බාකු නුවරදීත්, 1967 දී ලෙබනනයේ බීරූට් නුවරදීත් පැවති ආසියා – අපි‍්‍රකා ලේඛක සම්මේලනයේදී ශ‍්‍රී ලංකාව නියෝජනය කළේ ඩබ්ලියු. ඒ. අබේසිංහයන්ය.

අබේසිංහ මහතාගේ අඩසියවසක සාහිත්‍ය සේවය වෙනුවෙන් වයඹ විශ්වවිද්‍යාලය සාහිත්‍ය ශූරි සම්මාන ආචාර උපාධිය පිරිනමා ඇති අතර, ශ‍්‍රී ලංකා ජනරජය මගින් කලා කීර්ති සම්මානය ද පිරිනමා තිබේ.

ඩබ්ලියු. ඒ. අබේසිංහ මහතා විසින් සම්පාදනය කරන ලද, මගේ ලෝකය සහ ඔවුන්ගේ ලෝකය, කෘතිය ද මෙහිදී ජනාධිපතිතුමා වෙත පිළිගැන්විණි.

ආචාර්ය ඩබ්ලියු. ඒ. අබේසිංහයන්ගේ සාහිත්‍ය මෙහෙවර ඇගයීම සඳහා චන්ද්‍රසිරි සෙනෙවිරත්න හා උදේනි සරච්චන්ද්‍ර විසින් සංස්කරණය කරන ලද “අභය මුද්‍රාව” සහ දීපචන්ද්‍රි අබේසිංහ හා සුමුදු චතුරාණි ජයවර්ධනය සංස්කරණය කරන ලද “ආනන්දයෙන් ප‍්‍රඥාවට – අබේසිංහ සාර සංග‍්‍රහය” යන කෘති ද්විත්වය ද මෙහිදී ජනාධිපතිතුමා වෙත පිළිගන්වනු ලැබීය.

Read more

Local News