බැදුම්කර සිද්ධියට අදාළ සියලු ලිපි ලේඛන නීත්‍යාණුකූලව ලැබෙන තෙක් එකිනෙකාට චෝදනා කරගැනීමෙන් වළකින්න – කතානායක

Share

බැදුම්කර සිද්ධියට අදාළ සියලු ලිපි ලේඛන නීත්‍යාණුකූලව ජනාධිපති කාර්යාලයෙන් තමා වෙත ලැබෙන තෙක් මාධ්‍ය හරහා එකිනෙකාට චෝදනා කරමින් පාර්ලිමේන්තුවේ කීර්ති නාමයත් ගරු මන්ත්‍රීවරුන්ගේ අභිමානයටත් ගෞරවයටත් හානි ගෙන දෙන ලෙස චෝදනා කිරීම හෝ ප්‍රකාශ නිකුත් කිරීමෙන් වළකින ලෙස සියලු මන්ත්‍රීවරුන්ගෙන් හා මාධ්‍යයෙන් ඉල්ලා සිටින බව කතානායක කරූ ජයසූරිය මහතා අද (19) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.

නිවේදනයක් ඉදිරිපත් කරමින් කතානායකවරයා මේ බව සඳහන් කළ අතර තවදුරටත් අදහස් දැක් වූ කතානායකවරයා මෙසේ ද පැවසී ය.

බැදුම්කර නිකුත් කිරීම සම්බන්ධව පරීක්ෂා කිරීම සහ විමර්ශනය කිරීම සඳහා වූ ජනාධිපති විමර්ශන කොමිෂන් සභා වාර්තාවේ සී.350- සී 360 ලෙස සළකණු කර ඇති වෙළුම් තුනකින් සමන්විත ලේඛන පාර්ලිමේන්තුවේ සභාගත කිරීම පිළිබඳව 2018 ජුනි මස 05 වන දින පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේ දී සාකච්ඡා කර තීරණය කළ පරිදි එකී වාර්තාවේ කොටසක් පමණක් වන හෙයින් එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙර සී 01 සිට සී 340 දක්වා වූ ලේඛන ද සලකුණු කර ඇති වෙනත් ලේඛන ද ඇතුළුව සම්පූර්ණ වශයෙන් පාර්ලිමේන්තුවට නොපමාව ඉදිරිපත් කළ යුතු බව දන්වමි.

2018 ජූනි මස 12 වැනි දින ජනාධිපති ලේකම්වරයාට ලිපියක් යවන ලදී . භාණ්ඩාගාර බැදුම්කර කොමිෂන් සභා වාර්තාවට අදාළ සියලු ලේඛන පාර්ලිමේන්තුවට මුදා හැරීම සම්බන්ධව මේ වනවිට නීතිපතිවරයාගේ උපදෙස්
පතා ඇති බවත්, නීතිපතිවරයාගේ උපදෙස් සහ එකඟතාවය ලැබුණු වහාම එම උපදෙස් පරිදි ක්‍රියාකරන බව ජනාධිපති ලේකම්වරයා විසින් ජූනි මස 18 දින පාර්ලිමේන්තුවට ලිඛිතව දන්වා ඇත.

මෙම බැදුම්කර සිද්ධියට අදාළ සියළු ලිපි ලේඛන නීත්‍යාණුකූලව ජනාධිපති කාර්යාලයෙන් තමා වෙත ලැබෙන තෙක් මාධ්‍ය හරහා එකිනෙකාට චෝදනා කරමින් පාර්ලිමේන්තුවේ කීර්ති නාමයත් ගරු මන්ත්‍රීවරුන්ගේ අභිමානයත් දේශයේ
ගෞරවයටත් හානි ගෙන දෙන චෝදනා ප්‍රකාශ කිරීම හෝ නිකුත් කිරීමෙන් වළකින ලෙස සියලු මන්ත්‍රීවරුන්ගෙන් හා මාධ්‍යයෙන් ඉල්ලා සිටින බව ද කතානායකවරයා පැවසී ය.

Read more

Local News