පාර්ලිමේන්තු සංකීර්ණයට අයත් ඉඩමේ පැවරුම් සහතිකය ගයන්ත කරුණාතිලක මහතා අතින් කතානායකට පිරිනමයි

Share

ශ‍්‍රි ලංකා පාර්ලිමේන්තු සංකීර්ණය පිහිටි භූමිය සඳහා කතානායක කරු ජයසූරිය මහතා වෙත පැවරුම් සහතිකයක් (ඔප්පුව) පිරිනැමීම ඉඩම් හා පාර්ලිමේන්තු ප‍්‍රතිසංස්කරණ ඇමති ගයන්ත කරුණාතිලක මහතා අතින් අද (20) පාර්ලිමේන්තු සංකීර්ණයේ දී සුබ මොහොතින් සිදු කෙරිණි.

ශ‍්‍රි ලංකාවේ ව්‍යවස්ථාදායක බලය ක‍්‍රියාත්මක කරන කේන්ද්‍රස්ථානය වූ පාර්ලිමේන්තුවට අද සුවිශේෂි මෙන්ම ඓතිහාසික දිනයකි. මෙලෙස සුවිශේෂි වීමට හේතු වන්නේ පාර්ලිමේන්තු සංකීර්ණය පිහිටි භූමි භාගය උදෙසා නියමිත පරිදි සලකුණු කරන ලද විධිමත් පැවරුම් සහතිකයක් ලබාදීම නිසාය.

මෙතෙක් පාර්ලිමේන්තු සංකිර්ණය පිහිටි භූමියේ අයිතිය ලබා දී තිබුණේ සාම්ප‍්‍රදායික නාම මාත‍්‍ර සන්නසක් මඟිනි. ගයන්ත කරුණාතිලක මහතා ඉඩම් අමාත්‍ය ධූරයට පත් වීමෙන් අනතුරුව ඉඩම් කටයුතු කඩිනම් කිරීම උදෙසා සාකච්ඡා කිහිපයක්ම පවත්වන ලදී. විශේෂයෙන්ම රාජ්‍ය ආයතනවලට වෙන් කර දී ඇති ඉඩම් ප‍්‍රශස්ත මට්ටමින් කළමනාකරණය කිරීම මෙමඟින් අපේක්ෂා කෙරේ. පාර්ලිමේන්තු පිහිටි භූමියේ අයිතිය නීත්‍යානුකූලව හා නිරවුල්ව ලබා දීම පිළිබඳ ඉඩම් අමාත්‍යාංශය හා ඉඩම් කොමසාරිස් ජනරල් දෙපාර්තමේන්තුව මෙම කටයුත්ත සඳහා යුහුසුළුව සිය දායකත්වය ලබා දී තිබේ.

Read more

Local News