ද්විත්ව පුරවැසිභාවය ලබාගැනීමට මසකට අයදුම්පත් 1000ක්

Share

ශ්‍රී ලංකාවේ ද්විත්ව පුරවැසිභාවය ලබාගැනීම සදහා විදේශගත ශ්‍රී ලාංකිකයින් විශාල උනන්දුවක් දක්වන බව ආගමන හා විගමන පාලක ජනරාල් නිහාල් රණසිංහ මහතා පවසයි.

ඒ සදහා ඔවුන්ගෙන් මසකට අයදුම්පත් 1000ක් පමණ ලැබෙන බවත් ආරක්ෂක අමාත්‍යංශය, විදේශ කටයුතු අමාත්‍යංශය සහ අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශවල නිලධාරින්ගෙන් සමන්විත කමිටුවක් මගින් එම අයදුම්පත් පරීක්ෂාකොට අනුමත කිරීමෙන් පසු එම අයදුම්කරුවන්ට ද්විත්ව පුරවැසිභාවය ලබා දෙන බවත් ආගමන හා විගමන පාලකවරයා රජයේ නිල පුවත් වෙබ් අඩවියට පැවසීය.

එසේ තෝරා ගෙන ඇති අයදුම්කරුවන් 800කට ද්විත්ව පුරවැසිභාවය පිරිනැමීමට ජූලි මුල් සතියේදී සිදු කිරීමට කටයුතු යොදා ඇතැයිද ඒ මහතා කීය.

විදේශයන්හි ජීවත් වන එම රටවල පුරවැසිභාවය ලැබ සිටින ශ්‍රී ලාංකිකයන්ට මෙරට ද්විත්ව පුරවැසිභාවය ලබා ගැනීම සදහා ගෙවිය යුතු ගාස්තුව රුපියල් ලක්ෂ 3කි. අයදුම්කරුගේ බිරිඳ හො දරුවන් ඒ සඳහා රුපියල් 50,000 බැගින් ගෙවිය යුතුය.

විදේශ ගමන් බලපත්‍ර වල හිඟයක් පැවතීම ගැන මෙහිදී අප කළ විමසුමකට පිළිතුරු දුන් ආගමන හා විගමන පාලක ජනරාල්වරයා සියලුම රටවල් සඳහා නිකුත් කරන ගමන් බලපත්‍ර වල හිගයක් පවතින බවත් ඇණවුම් කරන ලද තොග ප්‍රමාදවීම එයට හේතුව බවත් කීය.

එහෙත් දැනට සියලුම රටවල් සඳහා ගමන් බලපත්‍ර අයදුම් කරන අයට මැදපෙරදිග සඳහා තිබෙන ගමන් බලපත්‍ර වලට “සියලුම රටවල් සඳහා” යන මුද්‍රාව තබා නිකුත් කරන බැවින් එය ප්‍රශ්නයක් නොවන බවද පැවසූ ඒ මහතා මේ පිළිබඳව විදේශයයන්හි පිහිට ආගමන විගමන අංශ, විදේශ තානාපති කාර්යාල දැනුම්වත් කොට තිබෙන හෙයින් ගුවන් මගීන්ට ප්‍රශ්නයක් ඇති නොවන බවද සඳහන් කළේය.

Read more

Local News